2024 නව පාසල් වාරය ආරම්භය ගැන දැනුම්දීමක්

2024 නව පාසල් වාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව 2024 නව පාසල් වාරය පෙබරවාරි 21 වැනිදා ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් සඳහන් කළේ.

කුවේට්වලින් ශ්‍රී ලාංකිකයින් 62ක් පිටුවහල් කෙරේ

නීති විරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කර තිබෙනවා.

එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ පිටුවහල් කරන ලද පිරිස අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් ඇති බවයි සඳහන් වන්නේ.

මෙම පිරිස ගෘහ සේවය සඳහා ගිවිසුම්ගත නිවෙස්වලින් පළා ගොස්, තාවකාලික නේවාසිකාගාරවල රැඳී සිටිමින්, වීසා නොමැතිව නීති විරෝධී ලෙස විවිධ රැකියා සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

සර්ව පාක්ෂික සමුළුව ජනාධිපතිවරයාගේ සුපුරුදු දේශපාලනික ක්‍රියාවලියේම කොටසක් – සජබ

උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව ජනාධිපතිවරයාගේ සුපුරුදු දේශපාලනික ක්‍රියාවලියේම කොටසක් මිස අනෙකක් නොවන බව සමගි ජන බලවේගය පවසනවා.

ඒ අනුව එවැනි වාතාවරණයක් තුළ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට හැකිවේද යන්න සැක සහිත බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කරමින් සමගි ජන බලවේගය සඳහන් කරන්නේ.

උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විපක්ෂයෙන් ප්‍රතිචාර ඉල්ලා සිටින බවත් සිදුවිය යුත්තේ ප්‍රතිචාර ලබාගැනීම සඳහා වූ යෝජනාවක් රජයෙන් ඉදිරිපත් කිරීම බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

රජය සිය යෝජනා ඉදිරිපත් කළ පසු විපක්ෂය සිය වගකීම් ඉටු කිරීමට සූදානම් බවයි ඔවුන් සිය නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

64c2345726a05

SL vs PAK 2nd Test: පාකිස්තානය පළමු ඉනිමට ලකුණු 576 ක් ලබා ගනී

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි (27).

ඒ අනුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම කඩුලු 5කට ලකුණු 576ක් ලබා තිබියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

පන්දුවට පහරදීමේදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Abdullah Shafique ලකුණු 201 ක් හා Agha Salman නොදැවී ලකුණු 132 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 ක් බිඳ හෙළිමට සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි.

ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 410 ක් ලබාගත යුතු වනවා.

SL vs PAK 2nd Test: තරගයේ සිව්වන දිනය අදයි

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි (27).

ඒ අනුව ඊයේ (26) දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 563 ක් ලබා සිටියා.

පන්දුවට පහර දෙමින් සිටින අගා සල්මන් සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 132 ක් ද, මොහමඩ් රිස්වාන් ලකුණු 37 ක් ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි.

ඒ අනුව පාකිස්තානය මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 397 ක්.

FIFA සුදුසුකම් ලැබීමේ තරග සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට අදාළ ආසියානු කලාපයේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවසර ලබාදීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොන්දේසි සහිතව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනය විසින් මෙම අවසරය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙම ලෝක කුසලාන තරගයට අවම වශයෙන් දින 10කට පෙර සිය නිලවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය වන අතර එසේ නොවුවහොත් ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරග සඳහා ක්‍රීඩා කිරීමට ඉඩ ලබා නොදෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

FIFA ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග 2023 ඔක්තෝම්බර් 12 සහ 17 යන දිනවල පැවැත්වීමට නියමිතයි.

64c1c4776111a

ජපාන විදේශ ඇමති හෙට දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා දෙදින නිල සංචාරයකක් සඳහා හෙට (28) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔහු සමඟ 22 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් දිවයිනට පැමිණෙන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

එම සංචාරයේදී ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවීමට නියමිතයි.

කැළෑ ප්‍රදේශවල මාර්ග අසළ ගැවසෙන වන අලින්ට ආහාර දෙන්න එපා – වනජීවි දෙපාර්තමේන්තුව

කැළෑ ප්‍රදේශවල මාර්ග දෙපස ගැවසෙන වන අලින්ට ආහාර ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කැළෑබද ප්‍රදේශ හරහා වැටී ඇති මහ මාර්ගවල ගමන් ගන්නා වාහන මඟින් මාර්ගය දෙපස ගැවසෙන වන අලින් සඳහා ආහාර ලබාදීම හේතුවෙන් එම සතුන් මාර්ගයට පැමිණීමට පුරුදු වී සිටින බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් එම මාර්ගවල ගමන්ගන්නා වාහනවලට බාධා කරමින් වන අලින් ආහාර ලබා ගැනීමට පුරුදු වන බැවින් කැළෑබද ප්‍රදේශ හරහා වැටී ඇති මහ මාර්ගවල ගමන්ගන්නා අවස්ථාවල දී වන සතුන්ට ආහාර ලබාදීමෙන් වැලකී සිටින ලෙසයි වනජීවි සංරක්ෂන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ප්‍රංශ ජනාධිපති ශ්‍රී ලංකාවේ සංචාරයක

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් හෙට (28) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරය කරනු ලබන පළමු අවස්ථාව මෙය ලෙසයි සඳහන් වන්නේ.

මෙම කෙටි සංචාරයේදී ප්‍රංශ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළාත් සභා සඳහා බලතල ලබාදීමට පෙර මැතිවරණය පැවැත්විය යුතුයි – රතන හිමි

පළාත් සභා සඳහා බලතල ලබාදීමට කටයුතු කරන්නේ නම් අත්හිටුවා ඇති පළාත් සභා මැතිවරණය පළමුවෙන් පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසනවා.

ඊයේ (26) පැවති සර්ව පාක්ෂික සමුළුව අගක් මුලක් නැති සමුළුවක් බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම්වරයාද බලය බෙදීම සම්බන්ධයෙන් එකඟතාවක් නොමැති බවට ප්‍රකාශ කළ බවයි උන්වහන්සේ සඳහන් කළේ.

ජනාධිපතිවරයා උතුරට බලතල ලබාදීමට කටයුතු කරන්නේ එළඹෙන ජනාධිපතිවරණයේදී උතුරේ ජනතාවගේ ඡන්දය තීරණාත්මක වනු ඇති බවට ජනාධිපතිවරයාගේ විශ්වාසය නිසා බවද අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.