ෂාෆ්ටර් මියයන විට ඇඳ සිටි ඇඳුම් විශේෂඥ වෛද්‍ය කමිටුවට ලබාදෙන ලෙස CID යට නියෝගයක්

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මරණයට පත් වන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් ලබාගෙන ඒවා ඔහුගේ මරණයට හේතු සෙවීම සඳහා පත් කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත යොමු කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

මේ වනවිට අදාළ ඇඳුම් දැනට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පවතින අතර එම සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය යළි කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ කණ්ඩායම විසින් මරණය සිදු වූ ස්ථානයේ සහ මරණකරු සිටි වාහනය තුළ තිබි සොයාගත් ද්‍රව්‍ය විමර්ශන සඳහා විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත භාර දෙන ලෙසද නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ පරීක්ෂණ වාර්තා සැප්තැම්බර් මස 05 වනදා යළි කැඳවීමටද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

හපුතලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

හපුතලේ, අයිස්පීල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

ඒ අනුව පුද්ගලයින් 05 දෙනෙකු විසින් කණ්ඩායමක් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක් වූ ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.

වෙඩි තබා පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හපුතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන හීත් ස්ට්‍රික් දිවි ගමනට සමුදෙයි

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායකයෙකු හා පුහුණුකරුවෙකු වන හීත් ස්ට්‍රික් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 49 වන වියේ පසු වූ අතර, පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිම්බාබ්වේ වෙනුවෙන් ක්‍රීඩා කළ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන හීත් ස්ට්‍රික් එරට කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 65 ක් හා එක්දින තරග 189 ක් ක්‍රීඩා කර තිබෙනවා.

සිම්බාබ්වේ වෙනුවෙන් කඩුලු 100 ක් දවා ගත් පළමු ක්‍රීඩකයා වන ඔහු 2000 වසරේ සිට 2004 වසර දක්වා සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

ජාත්‍යන්තර පිටියේ දී ලකුණු 4,933 ක් වාර්තා කර ඇති ඔහු කඩුලු 445 ක් දවා ගැනීමට ද සමත් වුණා.

පානීය ජල අවශ්‍යතාව හදිසි තත්ත්වයක් ලෙස සලකා කටයුතු කිරීමට තීරණය කෙරේ

පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා කටයුතු කිරීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඒ අනුව හදිසි ක්‍රියාකාරී කමිටුවක් හරහා ඒකාබද්ධ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ජලසම්පාදන, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර එම අමාත්‍යංශ තුනේ ලේකම්වරුන්ගෙන් එම කමිටුව පත් කිරීමට නියමිතයි.

ජනපති යළි දිවයිනට පැමිණෙයි

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව එම සංචාරයේදී ජනාධිපතිවරයා සිංගප්පූරු ජනාධිපති හලීමා යෙකුබ් සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුං, සිංගප්පූරු ආරක්ෂක අමාත්‍ය නෙං එං හෙන්, ඇතුළු පිරිසක් හමුවී සාකච්ඡා පවත්වා තිබුණා.

දෙවෙනි කුඹල් පෙරහැර අතරතුර ඇතුන් දෙදෙනෙක් නොසන්සුන් වෙයි

මහනුවර ඇසල මහා පෙරහැරේ දෙවෙනි කුඹල් පෙරහැර පැවති ඊයේ (22) දිනයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

එම පෙරහැර අතරතුර පෙරහැරේ ගමන් ගත් ඇතුන් දෙදෙනෙකු කුලප්පු වීම හේතුවෙන් මෙම නොසන්සුන්තාව මතුවූ බවයි සඳහන් වන්නේ.

එම අවස්ථාවේ පෙරහැර නැරඹීමට පැමිණි පිරිස් හිස් ලූ ලූ අත දිව ගොස් ඇති අතර නුවර වැව රවුමේ පෙරහර නරඹමින් සිටි පිරිසක් එම අවස්ථාවේදී වැවට පැනීම නිසා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදා නිලධාරීන් විසින් ඔවුන් බේරාගෙන තිබෙනවා.

කලබල වූ ඇතුන් දෙදෙනා ඉවත් කිරීමෙන් පසු පෙරහර අඛණ්ඩව වීදි සංචාරය කරවීමට කටයුතු කර ඇති අතර මෙහිදී කිසිවකුටත් තුවාල සිදුවී නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් රෝගීවීමට හේතුව බැක්ටීරියා ආසාදනයක් බවට අනාවරණය වෙයි

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියයෑම හා තවත් පිරිසක් රෝගීවීමට හේතුව අනාවරණය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පවසනවා.
ඒ අනුව අදාළ මරණ සඳහා හේතුවී ඇත්තේ meningococcus බැක්ටීරියාව හේතුවෙන් හටගත් meningococcal ආසාදනයක් බව අනාවරණය වී ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය සඳහන් කළේ.
තවදුරටත් මේ ගැන පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

රජයේ විශ්වවිද්‍යාලකින් උපාධිය ලබා විදෙස්ගත වන පුද්ගලයින්ගෙන් උපාධියට වැය වූ මුදල අය කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි – සම්පත් අමරතුංග

රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් උපාධිය ලබාගෙන විදෙස්ගත වන පුද්ගලයින්ගෙන් උපාධිය සඳහා රජය වැය කළ මුදල කොටස් වශයෙන් හෝ යළි අය කරගැනීමේ වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග පවසනවා.

ඒ තුළින් තවත් පුද්ගලයෙකුට ප්‍රතිලාභ ලැබෙන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ යෝජනා පිළියෙල කරන ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

මේ සඳහා ජාතික නීතියක් අවශ්‍ය බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ.

එලෙස පුද්ගලයින් විදෙස් ගතවීම ගැටලුවක් නොවන බවත් නමුත් එලෙස විදෙස් ගතවූ පසු හැකි තරම් මුදල් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු ලෙසට ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඇෆ්ගනිස්තාන – පාකිස්තාන පළමු එක්දින තරගය අද ආරම්භ වෙයි

පාකිස්තාන කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (22) ආරම්භ වනවා.

මෙම තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පස්වරු 03.00 ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර එක්දින තරග 03ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.