ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමට අදාළ කාරක සභාවේ සාමාජිකත්වයෙන් මන්ත්‍රීවරුන් 3 ක් ඉල්ලා අස්වෙයි

මහාචාර්ය රංජිත් බණ්ඩාර, එස්.බී. දිසානායක සහ ධම්මික පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව මේ හේතුවෙන් ඇතිවූ පුරප්පාඩු සඳහා නිමල් ලාංසා, නාලක බණ්ඩාර කොට්ටේගොඩ සහ මංජුලා දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම කාරක සභාවේ සාමාජිකයන් ලෙස නම් කර ඇති බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

ලංගම සහ දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීම කඩිනම් කෙ​රේ

ලංගම බස්රථ හා දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

රජයට අයත් මගී ප්‍රවාහන සේවාවන් පාඩු ලැබීමට අධික වියදම් හා සේවකයින් සිදුකරන විවිධ වංචා දූෂණ හේතුවී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

ලාෆ් ගෑස් මිල ඉහළට

ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

වැඩි කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,

* 12.5KG ගෑස් – රු.145 කින්  (නව මිල රු.3,835)

* 5KG ගෑස්  – රු.59 කින්  (නව මිල රු.1535)

මෙම සතිය තු​ළ කෝප් කමිටුවට ආයතන කිහිපයක් කැඳවයි

මෙම සතිය තුළ ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද වරාය අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හෙට (06) මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා

උසස් පෙළ දිවයිනේ ප්‍රථම ස්ථාන ලබා ගත් සිසුන්

2022 (2023) උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (04) නිකුත් වූ අතර දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන්ද මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව 2022 (2023) උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සමුදිත නයනප්‍රිය හිමිකරගෙන තිබෙනවා.

වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ දිල්සරණි තරුෂිකා සමත්ව ඇති අතර ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සුජාතා විද්‍යාලයේ ප්‍රමුදි භාෂණී මුණසිංහ සමත්ව ඇති බවයි සඳහන් වන්නේ.

භෞතික විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ගෝනදූවගේ මනෙත් බනුල පෙරේරා විසින් දිනාගෙන තිබෙනවා.

උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව https://doenets.lk/examresults වෙබ් පිටුව ඔස්සේ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය යොමු කිරීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

Asia cup 2023: කාසියේ වාසිය ඉන්දියාවට

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර තරගය අද (04) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ගැන අනතුරු ඇඟවීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරෙයි හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළෙන් ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝමේටර් 50-60 දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු.145 කින් (නව මිල රු.3,127)

* කිලෝ ග්‍රෑම් 5 – රු.58 කින් (නව මිල රු.1,256)

* කිලෝ ග්‍රෑම් 2.3 – රු.26 කින් (නව මිල රු.587)

උසස් පෙළ කල්දමන ලෙස විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

එළැඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල්දමා දරුවන්ට සිදුවන අසාධාරණය වළක්වාලීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටිනවා.

ඒ අනුව මෙම වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන්ගේ අයිතිවාසිකම් සහ ප්‍රායෝගික තත්ත්වයන් නොසලකා හරිමින් විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් කෙසේ හෝ තම පරිපාලන කාලසටහන් සාර්ථක කරගැනීමේ මිලේච්ඡ අරමුණක අධ්‍යාපන බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

2022 වසරේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කර නොමැති පසුබිමක මෙම වසරේ උසස් පෙළ විභාගය එළැඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කිරීම හේතුවෙන් දරුවන්ට දැඩි ආසාධාරණයක් සිදුවන බවත් නොවැම්බර් මාසයට විභාග දින නියම කිරීම හේතුවෙන් දෙවන වර විභාගයට සුදානම් වීමට සිටින දරුවන්ට ඒ සඳහා ඉතිරිව ඇත්තේ මාස දෙකකටත් වඩා අඩු කාලසීමාවක් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

එසේම විෂයන් වෙනස් කර යළිත් විභාගයට පෙනී සිටින දරුවන්ට මෙය කිසිසේත්ම ප්‍රමාණවත් කාලසීමාවක් නොවන බවත් මෙම තත්ත්වය තුළ ඇතැම් සිසුන්ගේ සරසවි සිහිනය ද බොඳවනු ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කරන්නේ.