සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව අද (06) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අදාළ විවාදය අද සිට ලබන 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම 8 වනදා සවස සිදු කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Asia cup 2023: සුපිරි 4 වටයේ තරග අද ආරම්භ වෙයි

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තරග අද (06) ආරම්භ වනවා.

සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය යන කණ්ඩායම් සමත් වුණා.

සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර අද පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිතයි.

OnmaxDT අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුගේ කෝටි 62ක දේපළ තහනම් කෙරේ

නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගිය OnmaxDT සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන සම්පත් සඳරුවන්ට හිමි රුපියල් කෝටි 62 කට අධික වටිනාකමින් යුතු දේපළ අන්සතු කිරීම, විකිණීම, පැවරීම තහනම් කර තිබෙනවා.

මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් OnmaxDT සමාගම සම්බන්ධයෙන් මෝසමක් මගින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත කරුණු දැක්වීමක් සිදුකර තිබුණා.

එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කරන ලද ගිණුම්වල රුපියල් කෝටි 79ක මුදලක් තිබෙන බවට බැංකු ගිණුම් වාර්තා අනුව තොරතුරු අනාවරණය වන්නේ යැයි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන සම්පත් සඳරුවන්ගේ බැංකු ගිණුම් 16ක කෝටි 55ක් ද, අතුල ඉන්දිකගේ බැංකු ගිණුමේ කෝටි 2ක් ද, ධනංජය ජයනාත්ගේ බැංකු ගිණුමේ කෝටි 11ක් ද, සාරංග ජයනාත්ගේ බැංකු ගිණුමේ කෝටි 18ක් ද, ගයාෂාන්ගේ බැංකු ගිණුමේ කෝටි 2ක් ද ඇති බවට බැංකු ගිණුම් අනුව තොරතුරු අනාවරණය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

OnmaxDT පිරමීඩ යෝජනා ක්‍රමයට මහජනතාවගෙන් එක්රැස් කරගත් මුදල් ගලා යන අවසාන මුදල් ගිණුම ඕස්ට්‍රේලියානුවකුගේ නොව ශ්‍රී ලාංකික පුද්ගලයකුගේ බවට තොරතුරු අනාවරණය වී ඇති බවද වාර්තා වනවා.

පන්දුවාර 10 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 63/1

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 63 ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදෙමින් සිටින පැතුම් නිස්සංක ලකුණු 30 ක් ලබාසිටිනවා. දිමුත් කරුණාරත්න ලකුණු 32 ක් ලබා‌ගෙන සිටියදී දැවී ගියා.

Asia cup 2023: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය අද (05) සවස 3.00 ට ආරම්භ වනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ලෝක කුසලානය සඳහා ඉන්දීය සංචිතය නම් කෙරේ

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වන අතර උප නායකයා ලෙස හර්ඩික් පාන්ඩ්යා පත්කර තිබෙනවා.

ආබාධයකට ලක්ව සිටි කේ.එල් රාහුල් මෙම සංචිතය සදහා නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අදාළ සංචිතය පහතින්.

64f6f4c061de2

Asia cup 2023: ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරගය අද

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (05) පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලාහෝර් හිදී අද පස්වරු 3.00 ට තරගය ආරම්භ වීමට නියමිතයි.

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට දැනුම්දෙයි

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළා.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (05) සිට ලබන 8 වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.30 ට රැස්වීමට නියමිත අතර ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අනතුරුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් වන ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත, සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදුවන බවයි සඳහන් වන්නේ.

විද්‍යුත් ​ත්‍රිරෝ​ද රථ ලියාපදිංචියට ප්‍රතිපාදන සැලසේ

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට පවතින බාධාවන් ඉවත් කරමින් මෝටර් වාහන පනත සංශෝධනය කිරීම සඳහා පසුගිය වසරේ අගෝස්තු 08 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබූ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

එම අනුමැතිය පරිදි අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

64f6e8bb29766