ත්‍රීරෝද රථයක් හා බස් රථයක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 06කට තුවාල

හැටන් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ දික්ඔය නගරය ආසන්නයේ දී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටී සිදුවු අනතුරකින්, ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයේ සිටි පාසල් සිසුවෙකු ඇතුළු තුවාලකරුවන් තිදෙනෙකු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි සඳහන් වෙන්නේ.

ත්‍රිරෝද රථයේ රියදුරා අධික ලෙස බීමත්ව සිටි බවට අනාවරණය වී ඇති බවත්, අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා හැටන් පොලීසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රදේශ රැසක උෂ්ණත්වය අද අවධානය යොමු කළ යුතු මට්ටමක

අද (17) දිනයේ දී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත් ද, රත්නපුර හා මොණරාගල යන දිස්ත්‍රික්ක ද ඒ අතරට ඇතුළත් වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉහත සඳහන් ප්‍රදේශවල එළිමහනේ සිදුකරන අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 303 යි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 294.38 ක් ලෙස සටහන් වූ අතර, එහි විකුණුම් මිල රුපියල් 303.03 ක් ලෙසයි සටහන් වන්නේ.

අදාළ වාර්තාව පහතින්.

news images

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන් මහනුවරට පැමිණෙයි

සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වන විට ජනතාව මහනුවර දළදා මාලිගාවට එක්රැස්වෙමින් සිටිනවා.

ඒ අනුව මේ වන විටත් සැදැවතුන් සිරි දළදා වන්දනාව සඳහා පෝලිම්වල රැඳී සිටින බවයි වාර්තා වෙන්නේ.

සිරි දළදා වන්දනාව හෙට (18) දින පස්වරු 3.30ට ආරම්භ කර එදින පස්වරු 5.30 දක්වා පැවැත්වෙන අතර, ඉන් අනතුරුව ලබන 19 වන දින සිට 27 වන දින දක්වා සෑම දිනකම දහවල් 12.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

news images

news images

news images

ලිස්සන ගස සකස් කරමින් සිටි පාසල් සිසුවෙක් එයින් ඇද වැටී මරු‍ට

ඇල්පිටිය ප්‍රදේශයේ දී අද (17) පැවැත්වීමට නියමිත අවුරුදු උත්සවයක ලිස්සන ගස සකස් කරමින් සිටි පාසල් සිදුවෙකු ඉන් ඇද වැටී මියගොස් තිබෙනවා.

පිටිගල, අමුගොඩ, සිරි විජයාරාම විහාරස්ථානය අසල ක්‍රීඩා පිටියේ දී අදාළ අවුරුදු උත්සවය පැවැත්වීමට සූදානම් කරමින් සිටියදී අදාළ සිසුවා මෙම අනතුරට මුහුණ දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අඩි 40ක් පමණ උසැති මෙම ග්‍රීස් ගසෙන් ඇදවැටුණු පාසල් සිසුවා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක පාසල් සිසුවෙකු බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පිටිගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.

අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතුයි – රනිල්

අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය තුළින් මෙරට ලක්ෂයකට අධික පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙය හදිසි අවස්ථාවක් ලෙස සලකා අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතු බවයි අද (16) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

මෙම තීරු බද්දේ එක බලපෑමක් වන්නේ රැකියා අහිමිවීම බව ද, එයට සම්බන්ධ පිරිස් ද මේ හරහා බලපෑමට ලක්වන අතර, බෝඩින් කාමර ලබාදෙන පිරිස්, කඩ සාප්පු පවත්වා ගෙන යන පිරිස් වෙත ද අවධානමක් ඇති බව ද, සෑම කෙනෙකුගේම ආදායමට මෙයින් පහර වැදෙන බව ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මෙරට ආර්ථිකයට ද පහරක් මේ තුළින් වැදෙන බවත්, අපට ලැබෙන මුදල් ප්‍රමාණය අඩුවීම හේතුවෙන්, ණය ගන්නා ප්‍රමාණය වැඩිවන අතර, මේ අර්බුදය නිසා රුපියලේ අගය තවත් අඩුවනු ඇති බවත්, ආර්ථිකයේ වර්ධන වේගය අඩුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

දින හයක් තුළ අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 273 ඉක්මවයි

අලුත් අවුරුදු සමයේ ගතවූ දින 06 තුළ අධිවේගී මාර්ග පද්ධතියේ වාහන 787,000ක් ගමන් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එම කාලය තුළ එමගින් රුපියල් මිලියන 273ක ආදායමක් උපයාගෙන ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (නඩත්තු හා මෙහෙයුම්) ආර්.ඒ.ඩී. කහටපිටිය සඳහන් ක‍ළේ.

ගම්බිම් බලා ගිය ජනතාවගේ පහසුව සඳහා අද (16) දිනයේ අධිවේගී මාර්ගවල සියලුම කවුළු විවෘතව තබා ඇති බවද, අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන යම් ආපදාවකට ලක් වුවහොත්, 1969 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයට දැනුම්දෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් විදෙස්ගතවීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් විදෙස්ගත වීමට උත්සාහ කළ පුද්ගලයෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කුළීගොඩ, දම්රෝවත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයාට සහ බිරිඳට වසර 15ක සිර දඬුවම්

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා උමාලා සහ ඔහුගේ බිරිඳ වන නදීන් හෙරෙඩියාට වසර 15ක සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ චෝදනාවකට වරදකරුවන් වීම හේතුවෙන් ඔවුන්ට මෙලෙස දඬුවම් නියම කර ඇති බවයි සඳහන් වෙන්නේ.

2006 සහ 2011 දී ඔහුගේ මැතිවරණ ව්‍යාපාර සඳහා බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමකින් නීති විරෝධී ආකාරයට අරමුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණා.

62 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, වසර තුනකට අධික කාලයක් පැවති නඩු විභාගයකින් අනතුරුව මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

දළදා ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරයේ පාසල් 37 ක් වසා දැමීමට පියවර

දළදා ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරයේ තෝරාගත් පාසල් 37 ක් වසා දැමීමට නියමිත බව මහනුවර අධ්‍යාපන ලේකම්වරයා පවසනවා.

ඒ අනුව, අප්‍රේල් 21 සිට 25 දක්වා අදාළ පාසල් වසා දැමීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

ලබන 18 වැනිදා ආරම්භ වන සිරි දළදා වන්දනාව දින 10ක් පුරා පැවැත්වීමට නියමිතයි.