කොත්තු, රයිස් සහ ප්ලේන්ටි මිල ඉහළට

ගෑස් මිල ඉහළ දැමීමත් සමඟ කොත්තු, රයිස් සහ ප්ලේන්ටි මිල ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එහි සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ, ප්ලේන්ටියක මිල රුපියල් 10 කින්, කොත්තු රුපියල් 20 කින් හා රයිස් එකක මිල රුපියල් 50 කින් ඉහළ දමන බවයි.

පොලී අනුපාත පහත දැමීමට මහ බැංකුව තීරණය කරයි

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පහත දැමීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 10%ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 11%ක් ලෙසත් අඩු කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

මීට පෙර තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 11%ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 12%ක් ලෙස පැවතියා.

CEYPETCO ආයතනයට නව සභාපතිවරයෙක් පත් කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සඳහා නව සභාපතිවරයෙක් පත්කර තිබෙනවා.

ඒ අනුව සාලිය වික්‍රමසූරිය අද (05) සිට පත් කර ඇති බවයි X පණිවිඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.

ආර්ථික අභියෝග හමුවේ රට හැර යනවාද නැද්ද යන්න බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතුයි – ජනපති

ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අභියෝගයෙන් මුදවාගෙන තරගකාරී ආර්ථිකයක් කරා ගෙන යාමට නම් රටේ මානව සම්පත ඒ සඳහා පෙළගැස්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අභියෝග හමුවේ රට හැර යනවාද නැද්ද යන්න බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතු බවයි ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඉදිරි වසර පහ තුළ ලෝකයේ බොහෝ වෙනස්කම් සිදුවිය හැකි බව ගෝලීය තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන බවද, සංවර්ධිත රටවල් පවා ඉදිරියේ දී ආර්ථික අභියෝගවලට ලක්විය හැකි බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

නිවේදනය පහතින්.

651e730ac9bfcpdf_page_0

දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජනය අවසන් වෙයි

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හා වැඩ වර්ජනය දියත් කල දුම්රිය නියාමක සංගමය සමඟ පැවති සාකච්ඡාව සාර්ථකවී තිබෙනවා.

ඒ අනුව එම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට එම වෘත්තීය සමිතිය තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අසනීප නිවාඩු වාර්තා කල උප නියාමකවරුන් මේ වනවිට නැවත සේවයට පැමිණෙමින් ඇති බවත් සවස දුම්රිය ධාවනය උපරිම අයුරින් සාමාන්‍ය පරිදි සිදු කිරීමට කටයුතු කරමින් ඇති බවයි දුම්රිය දෙපාර්තමේතුව වැඩිදුරටත් සඳහන් කළේ.

දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු අවලංගු කරයි

දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.

ඒ අනුව සියලුම සහකාර නියාමකවරුන් දහවල් 12.00 ට පෙර සේවයට වාර්තා කළ යුතු බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරන්නේ.

ICC CWC 2023 : මහේල ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශකවරයා ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වී තිබෙනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (05) ආරම්භවීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය එළඹෙන 07 වනදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

දුම්රි​ය වර්ජනය හේතුවෙන් මගීන් දැඩි පීඩාවට පත්වෙයි

දුම්රිය නියාමක සංගමය ක්ෂණිකව ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය මගීන් අද (05) උදෑසනද දැඩි පීඩාවට පත් වුණා.

මාළිගාවත්ත දුම්රිය අංගනයේදී උප නියාමකවරයෙකුට සිදුවූ පරහදීමකට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස වැඩවර්ජනයක් දියත් කර තිබෙනවා.

ඡායාරූප උපුටාගැනීම – සමාජ මාධ්‍ය ජාලා

විශ්ව විද්‍යාල අයදුම්පත් භා​රගැනීම අදින් අවසන් වෙයි

2022/23 අධ්‍යයන වර්ෂ සඳහා විශ්ව විද්‍යාල සඳහා අයදුම්පත් භාරගැනීම අදින් (05) අවසන් වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

පසුගිය සැප්තැම්බර් 14 දින සිට සති තුනක කාලයක් මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාරගැනීම සිදුකෙරුණු බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අදින් පසු යළි අයදුම්පත් භාර ගැනීම දීර්ඝ නොකරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග වැඩිදුරටත් සඳහන් කළා.

Asian Games : අර්ධ අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජයක්

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර විස්සයි විස්ස පිරිමි ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකාව ඇෆ්ඝනිස්තානය හමුවේ ලකුණු 8කින් පරාජයට පත්ව තිබෙනවා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය පන්දුවාර 18.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 116 ක් ලබා ගැනීමට සමත් වුණා.

නූර් අලී සඩ්‍රාන් ලකුණු 51(52) ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී නුවන් තුෂාර ලකුණු 17 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 108 ක් පමණයි.

ආරම්භක පිතිකරුවන් වූ ශෙවෝන් ඩැනියල් ලකුණු 9කටත්, ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 16 කටත් දැවී ගිය අතර නුවනිදු ප්‍රනාන්දු රැස් කළේ ලකුණු 5ක් පමණයි. නායක සහන් ආරච්චිගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 22 ක් ලබා ගත්තා.

ඒ අනුව මේ වන විට ඉන්දියාව, පාකිස්තානය හා ඇෆ්ඝනිස්තානය යන රටවල් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා තිබෙනවා.