දකුණේ පාසල් වාර විභාග අද ආරම්භ වෙයි

ගංවතුර තත්ත්වය හේතුවෙන් කල් දැමූ දකුණු පළාතේ පාසල් වල දෙවන වාර පරීක්ෂණ අද (16) ආරම්භ කෙරෙන බව පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා පවසනවා.

ඒ අනුව තවමත් ගංවතුර පවතින ප්‍රදේශවලට අයත් පාසල් වල පමණක් වාර පරීක්ෂණය එම තත්ත්වය පහව ගිය පසු පවත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ පාසල් දින දෙකක් සඳහා නිවාඩු ලබාදීමට කටයුතු කර තිබුණා.

වැඩබලන අමාත්‍යවරු පස් දෙනෙක් පත් කෙරේ

ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලසීමාව තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යංශ කිහිපයකට වැඩබලන අමාත්‍යවරුන් පත්කර තිබෙනවා.

ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත්කර ඇති අතර වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම වැඩබලන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කනක හේරත් පත්කර ඇති අතර වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් සහ වැඩබලන පරිසර අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි පත්කර තිබෙනවා.

ජනපති චීනයේ සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 03 වන “එක් තීරයක් – එක් මාවතක්” සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපතිවරයා මෙලෙස දිවයිනෙන් පිටව ගොස් ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් හමුවීමට නියමිත අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතයි.

ශිෂ්‍යත්ව විභාගය අද

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයන් 337,956 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විභාගය, මධ්‍යස්ථාන 2888ක දී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කළේ.

විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන පෞද්ගලික ණය හිමියන්ගෙන් යෝජනාවක්

ඩොලර් බිලියන 12ක විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලික ණයහිමියන් පිරිසක් මෙරට බලධාරීන් වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන පරිදි, නව බැඳුම්කරයක් ද එම යෝජනාවට ඇතුළත්ව ඇති බවයි සඳහන් වන්නේ.

මේ තුළින් එම නව බැඳුම්කරය මගින් අනාගතයේදී ආර්ථිකය යම් අර්බුදයකට ලක් වුවහොත් ණය ගෙවීමේ කටයුතු පහසු කිරීමට අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට ගනිමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසිවීම හේතුවෙන් පරිසර අමාත්‍ය ධුරයේ පුරප්පාඩුවක් ඇතිව තිබෙනවා.

සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරි අතපත්තු​ට

සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා වන සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු විසින් දිනාගෙන තිබෙනවා.

එංගලන්තයට එරෙහිව පැවති තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම සම්මානය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී චමරි ලකුණු 114 ක් රැස් කරමින් කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වසා දැමුණු කොටස යළි විවෘත වෙයි

නායයාමක් හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර කොටස අද (13) පස්වරු 6.00 ට යළි විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව කොළඹ සිට හම්බන්තොට දෙසට වම්පස මංතීරු 02 පමණක් දෙපසටම ගමන්කළ හැකි අයුරින් වාහන ගමනා ගමනය සඳහා විවෘත කරන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

එහි දකුණු පස මංතීරු 02 තවදුරටත් වාහන ගමනාගමනය සඳහා වසා තැබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඩිජිටල්කරණයට ප්‍රවේශ වීමට රටේ සෑම පුද්ගලයෙකුටම අවකාශ තිබිය යුතුයි – ජනපති

රටේ සිදුවෙමින් පවතින ඩිජිටල්කරණයට ප්‍රවේශවීමට සෑම පුද්ගලයෙකුටම අවකාශ තිබිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ සඳහා අවශ්‍ය මූලික ඩිජිටල් යටිතල පහසුකම් පුද්ගලික අංශය විසින්, පුද්ගලික ආයෝජන මගින් සපයා ගත යුතු අතර පුද්ගලික අංශයට ළඟා විය නොහැකි අවස්ථාවන්ට රජය මැදිහත් විය යුතු බව රජයේ මෙන්ම තමාගේද අදහස බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

මෙම ඩිජිටල්කරණයට අවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් සපයා ගැනීමට සිදුව ඇත්තේ ආර්ථික අර්බුදය හමුවේ රජයේ සම්පත් සීමා වී ඇති පසුබිමක බවයි 2023 ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයේ  (NITC – 2023)  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඊශ්‍රායලයෙන් ගාසා තීර​යේ වැසියන්​ට අනතුරු ඇඟවීමක්

ගාසා තීරයේ උතුරු කොටසේ සිටින සියලුදෙනා ඉදිරි පැය 24ක කාලය තුළ ගාසා තීරයේ දකුණු දෙසට යා යුතු බවට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව ගාසා තීරයේ උතුරු කොටසේ මිලියන 1.1 ක පමණ ජනගහනක් ඇති අතර ඔවුන් සියලු දෙනාට සිය නිවෙස් අතහැර දකුණු ගාසා තීරයට යාමට සිදුවන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 1,537 ක් මිය ගොස් 6,612 ක් තුවාල ලබා ඇති අතර, ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1300 දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.