ජනපති හෙට නිල සංචාරයක් සඳහා චීනයට යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (14) නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයා එහිදී ඔක්තෝබර් 17 සහ 18 පැවැත්වෙන සමුළුවකටද සහභාගීවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා  මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර චීන ජනාධිපති ෂී ජින් පිං සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතයි.

වාහන ආනයනයට අවසර ලබාදීම ගැන සාකච්ඡා කරනවා – වෙළඳ ඇමති

වාහන ආනයනය කිරීමට අවසර ලබාදීම සඳහා වු ප්‍රතිපත්ති මේ වනවිට සම්පාදනය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

අදාළ ප්‍රතිපත්ති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් කැබිනට් මණ්ඩලයේදී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පොදු සහ ප්‍රවාහන කටයුතු, සංචාරක කටයුතු සඳහා අවශ්‍ය වාහන ගෙන්වීමට පසුගිය කාලයේ අවසර දෙන බවට ප්‍රකාශ කළ බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිය මේ වනවිට සෑදීමට කටයුතු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සහන සැලසීමට විශේෂ වැඩපිළිවෙළක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිවී තිබෙන දරුණු ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතාරක්ෂාව ඇතුළු හදිසි අවශ්‍යතා සම්බන්ධව විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව මේ වනවිටත්  ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මෙරට රජයේ වගකිවයුතු අංශ එක්ව ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවගේ අවශ්‍යතා සම්බන්ධව ගත හැකි උපරිම මැදිහත්වීම සිදුකිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහිදී ඊශ්‍රායලයේ රැකියාවල නියුතු හෝ වෙනත් කරුණක් වෙනුවෙන් රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හට තම ජීවිත පිළිබඳ අවධානමක් මතුව ඇත්නම් ඒ සම්බන්ධව හෝ වෙනත් දුෂ්කරතා කිසිවක් ඇත්නම් ඒ පිළිබඳව සෘජුව මෙරට බලධාරීන් දැනුවත් කිරීම සඳහා පහසුකම් සළසා තිබෙනවා.

ඒ අනුව (+94) 117966396 යන දුරකථන අංකය, (+94) 767463391 යන WhatsApp අංකය හෝ opscenga@gmail.com යන Email ලිපිනය හරහා සිය අවශ්‍යතා ඉදිරිපත් කිරීමේ හෝ අවශ්‍ය තොරතුරු දැනගැනීමේ හැකියාව පවතින අතර පිළිගත් ආගමන විගමන පටිපාටිය ඔස්සේ මෙන්ම වෙනත් කවර හෝ  ක්‍රමයක් ඔස්සේ ඊශ්‍රායලයේ රැඳී සිටින ඕනෑම ශ්‍රී ලාංකිකයකු හට මෙම සේවාව ලබා ගැනීමට හැකියාව තිබෙන බවයි රජය  අවධාරණය කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

6527d73a8e044pdf_page_0

මාතර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂයින්ට දැනුම්දීමක්

අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට මාතර ආපදා කළමනාකරණ ඒකකය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එම ප්‍රදේශයේ දරුවන්ට සහ විභාග කාර්ය මණ්ඩලයට පවතින කාලගුණ තත්ත්වය මත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අපහසුතා ඇත්නම් මේ මස 14 වන දිනට පෙර ඒ පිළිබඳ දැනුවත් කරන ලෙසයි එම ඒකකය ඉල්ලා සිටින්නේ.

ඒ අනුව දුරකථන අංක 0412 234 134  හෝ ක්ෂණික දුරකථන අංක 117 ඔස්සේ මාතර ආපදා කළමනාකරණ ඒකකය දැනුවත් කරන ලෙස මාතර ආපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් සඳහන් කරනවා.

හමාස් සංවිධානය මිහිපිටින් අතුගා දැමීමට කටයුතු කරනවා – ඊශ්‍රායලය

හමාස් සංවිධානය මිහිපිටින් අතුගා දැමීමට කටයුතු කරන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.

ඊශ්‍රායල අග්‍රමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා එක්ව පවතින තත්ත්වයට මුහුණදීම සඳහා අන්තර්වාර රජයක් පිහිටුවීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුම් ආරම්භ වී 6 වන දිනය වන විට පලස්තීනුවන් 1100 ක් හා ඊශ්‍රායල වැසියන් 1200 ක් පමණ මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දෙරට අතර ගැටුම් තවදුරටත් පවතින අතර ප්‍රහාර හේතුවෙන් මේ වන විට අවතැන්ව සිටින සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ඇති අතර ඉන්ධන අවසන්වීම හේතුවෙන් ගසා තීරයේ බලාගාරයක් සම්පූර්ණයෙන් අක්‍රීයවී තිබෙනවා.

ගසා තීරයට ඉන්ධන ජලය හා ආහාර වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීමට බාධා නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඉල්ලීමක්ද සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව කොටසේ ගමනා ගමනයට තවදුරටත් බාධා

නායයෑමක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව අතර කොටසේ එක් මන්තීරුවන් ධාවනය සඳහා විවෘත කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එම මාර්ගය පිළිසකර කරන තෙක් අදාළ ස්ථානය මග හැර ගමන් කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

ඊයේ (11) පස්වරුවේ පැවති වර්ෂා තත්ත්වයත් සමඟ සිදුවු නායයෑම හේතුවෙන් පින්නදුව සහ ඉමදුව අතර 102 කිලෝමීටර කොටසේ ගමනාගමන කටයුතු ඇණහිට තිබුණා.

6527a274717d1

ගංවතුර අනතුරු ඇඟවීම් යළිත් දීර්ඝ කෙරේ

ගිං ගඟ ද්‍රෝණියට හා නිල්වලා ගඟ ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නිල්වලා ගංගා ද්‍රෝණියට ඇදහැලෙන වර්ෂාවත් සමග එම ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශ වන අකුරැස්ස, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ කඹුරුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර මට්ටම නැවත ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම ගිං ගඟ ද්‍රෝණියේ ගංවතුර තත්ත්වය අඩුවෙමින් පැවතිය ද ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් ගංවතුර අවදානම් ඇති විය හැකි බැවින් එම ප්‍රදේශවල අතුරු මාර්ගවල ගමන් කිරීමේ දී වඩාත් සැලකිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු අද

“පනාපුත්‍ර කුහුඹුපැණියා” හෙවත් හෙළ සිනමාවේ අසහාය රංගන පෞර්ෂය ලෙස හැඳින්වෙන ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු අද (12) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මහජන ගෞරව දැක්වීම සඳහා දේහය අද දහවල් 12.00 දක්වා නිවසේ තැන්පත් කර ඇති අතර සවස 3.00 ට නිවසේ ආගමික පිළිවෙත් ආරම්භ කිරීමට නියමිතයි.

නිවසේ ආගමික කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව අවමංගල පෙරහර රාගම පේදුරු පාවුළු දේවස්ථානයට ලගා වීම සිදු කෙරෙන අතර සවස 5.00 ට දේහය මිහිදන් කිරීමට නියමිත බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

රංගන ශිල්පියෙක්, ගේය පද රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක් මෙන්ම ඉතිහාස විශ්ලේෂකයෙකු ලෙස සිය ප්‍රතිභාපුර්ණ හැකියාව පෙන්නුම් කළ ඔහු හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත ලෙස 16 වතාවක් දිනාගෙන තිබෙනවා.

ICC CWC 2023 : ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ නවසීලන්තයට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් මේ වන විට සහභාගී වු තරග දෙකම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 4 ක් ලබාසිටින අතර පාකිස්ථාන කණ්ඩායමද ප්‍රසාද ලකුණු 4 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසුවනවා.

ප්‍රසාද ලකුණු සටහනේ දකුණු අප්‍රිකාව, ඉන්දියාව, එංගලන්තය හා බංග්ලාදේශය එක් තරගය බැගින් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 2 බැඟින් ලබාගෙන පිළිවෙලින් 3,4,5,6 යන ස්ථානවල රැඳී සිටිනවා.

ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය හා නෙදර්ලන්තය සහභාගී වූ තරග සියල්ල පරාජයට පත්වී පිළිවෙලින් 7, 8, 9,10 යන ස්ථානවල පසුවනවා.

ප්‍රසාද ලකුණු සටහන පහතින්.

65263a603709b

නිල්වලා ගඟේ පහත් බිම්වලට ගංවතුර අනතුරු ඇඟවීමක්

නිල්වලා ගඟ ආශ්‍රිතව පවතින ගංවතුර තත්ත්වය යළි ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පානදුගම ජල මාපාංකයේ පවතින සුළු ගංවතුර මට්ටම මීටර් 6.20ක් දක්වා ඉහළගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම් වෙත නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

652691ae00d89pdf_page_0