ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 500 ක් මරුට

ගාසා තීරයේ රෝහලකට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයින් 500 ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය පිරිස අතර කාන්තාවන්, ළමුන් ඇතුළු වෛද්‍යවරුන්ද සිටින අතර තවත් පිරිසක්ද තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ප්‍රහාරය පාර්ශව රැසකගේ දැඩි විවේචනයට පත්ව තිබෙන අතර ඔවුන් සඳහන් කරන්නේ මෙය වචනයෙන් කිව නොහැකි තරම් බිහිසුණු අපරාධයක් බවත්, එය යුද අපරාධයක් බවයි.

කෙසේ නමුත් ඊශ්‍රායලය සඳහන් කරන්නේ තමන් විසින් මෙම ප්‍රහාරය එල්ල නොකළ බවත් පලස්තීනයේම වෙනත් පාර්ශවයක් විසින් එල්ල කර ඇති බවයි.

652f615be9136 652f615be1e53 652f615b26373

දකුණු ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

දකුණු ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව දකුණු ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින් තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මණින් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම්දෙන ලෙසයි තානාපති කාර්යාලය ඉල්ලා සිටින්නේ.

ඒ අනුව 70386754, 71960810 යන දුරකථන අංක දෙකට Whatsapp පණිවිඩයක් හෝ slemb.beirut@mfa.gov.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

ජනපති චීනයේ Huawei සමාගමේ නිරීක්ෂණ චාරිකාවක

ශ්‍රි ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට තම සමාගම සූදානම් බව චීනයේ හුවාවි (Huawei) සමාගමේ නියෝජ්‍ය සභාපති සයිමන් ලින් (Simon Lin) පවසනවා.

තම සමාගම දැනටමත් තාක්ෂණ හා යටිතල පහසුකම් සැපයිමේ කාර්යයට අමතරව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක් සමගම අධ්‍යයන කාර්යයන්ට සම්බන්ධ ආධාර උපකාර සැපයීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙන බවයි ඔහු සඳහන් කළේ.

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ දූත පිරිස අද (17) පෙරවරුවේ බීජිං නුවර හුවාවි සමාගමේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූ අතර එහිදී සයිමන් ලින්ග් මේ බව සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ තමන් මෙවර හුවාවි කේන්ද්‍රස්ථානයට පැමිණියේ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීමට බවත් ඩිජිටල් අධ්‍යාපන ක්‍රමවේදය සහ හරිත බලශක්ති නිෂ්පාදනය සම්බන්ධයෙන් චීන රජයේ මෙන්ම හුවාවි සමාගමේ සහාය ද ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

652e60ae563ebpdf_page_0

ආසියානු පැරා මළ​ල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

ආසියානු ක්‍රීඩා තරගාවලියට සමගාමීව පැවැත්වෙන 04 වන පැරා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙක් ඇතුළත් අතර මෙම කණ්ඩායමේ නායකත්වය දිනේෂ් ප්‍රියන්ත විසින් දරණු ලබනවා.

මෙම තරගාවලිය එළඹෙන 22 වනදා සිට 28  දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මළල ක්‍රීඩා , ටේබල් ටෙනිස් , පිහිනුම් , බැට්මින්ටන් ඇතුළු ක්‍රීඩා ඉසව් කිහිපයක් සදහා සහභාගී වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේත් පැවතිය හැකියි – කාලගුණ දෙපාර්තමේන්තුව

පවතින අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දහවල් 2.00 පමණ පසු වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ සුළං තත්ත්වයේ සහ අකුණුවල වැඩිවීමක් අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් සඳහන් කළේ.

ධනුෂ්ක ගුණතිලකගේ ක්‍රිකට් තහනම ඉවත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ තහනම සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුව නිර්දේශ කර තිබෙනවා.

ඔහුට එරෙහිව එල්ලවූ චෝදනා හේතුවෙන් ඔහුගේ සියලු ක්‍රිකට් ක්‍රියාකාරකම් අත්හිටුවීමට මීට පෙර තීරණය කර තිබුණා.

ඔහුගේ නිදොස් කිරීම සහ ඔහුගේ ක්‍රිකට් දිවිය සහ ක්‍රිකට් අභිලාෂය කෙරෙහි එහි බලපෑම පිළිබඳව නිසි සැලකිල්ලක් දක්වමින් මෙය විමර්ශනය කළ කමිටුව විසින් ඔහුගේ තහනම ඉවත් කිරීමට ඒකමතිකව නිර්දේශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව 2023 ඔක්තෝම්බර් 13 වැනි දින පැවති රැස්වීමේදී මෙම නිර්දේශය අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කාසල් රෝහ​ලේ සය නිවුන් දරු උපතක්

කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලෙන් සය නිවුන් දරු උපතක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව රාගම ප්‍රදේශයේ පදිංචි මවක් මෙලෙස පිරිමි දරුවන් 6 දෙනෙකු බිහි කර ඇති බවයි සඳහන් වන්නේ.

බිළිදුන් හයදෙනාම යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අලි සහීර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

අලි සහීර් මවුලානා මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීම කතානායකවරයා ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර සිදු වුණා.

නසීර් අහමඩ්ගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සහීර් මවුලානා තෝරාගෙන තිබුණා.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (17) උදෑසන 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් කළ වැඩසටහනේ එල්ල කර ඇති චෝදනා විමර්ශනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි වූ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ යෝජනාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මාර්ගය සහ තවත් මාර්ග කිහිපයක එලෙස රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.