කොළඹ ප්‍රදේශ කිහිපයකට සති අන්තයේ පැය 15 ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරිමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

සෙනසුරාදා (21) දින පස්වරු 5.00 සිට ඉරිදා පෙරවරු 8.00 දක්වා පැය 15ක කාලයක් සදහා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ, කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශ සඳහා බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

විජයකලා මහේෂ්වරන් නිදහස් කෙරේ

ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කර තිබෙනවා.

2018 වසරේ කොටි සංවිධානය යළි නගා සිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්ට චෝදනා එල්ල වූ අතර එය සම්බන්ධයෙන් මීට පෙර ඇප නියම කර තිබුණා.

මෙම සැකකාරියට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව මීට පෙර පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුණා.

අජිත් මාන්නප්පෙරුමට සති 4 ක පාර්ලිමේන්තු තහනමක්

අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය සති හතරකට අත්හිටුවීමට කතානායකවරයා තීරණය කර තිබෙනවා.

ඒ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමන්තුවේ ඇතිවූ උණුසුම් තත්ත්වය අතරතුර සෙංකෝලය ස්පර්ශ කිරීම හේතුවෙන් බවයි කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තබයි

පාර්ලිමේන්තුව මිනිත්තු 10 කට කල් තැබීමට කතානායකවරයා තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් මෙලෙස සභාව කල් තැබීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

ඔක්තෝම්බර් මුල් දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 50,000 ක් දිවයිනට

2023 ඔක්තෝම්බර් මාසයේ මුල් දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 50,395 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව 2023 ඔක්තෝම්බර් 15 වන දින වන විට මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,066,651 ක් බවයි එම අධිකාරිය සඳහන් කළේ.

2023 ඔක්තෝම්බර් මාසයේ මුල් දින 15 තුළ දී පැමිණ ඇති සමස්ත සංචාරකයින්ගෙන් 12,252 ක් ඉන්දීය සංචාරකයින් වන අතර රුසියාවෙන් 4,554ක් , එක්සත් රාජධානියෙන් 4,008ක් , චීනයෙන් 3,269ක් සහ ජර්මනියෙන් 3,180ක් ලෙස පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ වාර්තාව පහතින්.

6530b03c1d8b6 6530b03bc4c35

IMF සමඟ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට කඩිනමින් එළැඹිය හැකි වේවි – ෂෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට ඉක්මනින් එළැඹිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව මොරොක්කෝවේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු වාර්ෂික රැස්වීම්වල දී මෙරට ආර්ථික ප්‍රකෘතිය සහ තිරසරභාවය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එම කටයුතු වේගවත් කිරීමට අවශ්‍ය සහයෝගීතාව වැඩි කරගැනීම සඳහා එම සාකච්ඡාවල දී අවධානය යොමු කළ බවයි ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ සටහන පහතින්.

6530bc0e9b27b

18% ක ගාස්තු වැඩිවීමක් ප්‍රමාණවත් – විදුලිබල මණ්ඩලය

විදුලිබල මණ්ඩලය පුරෝකථනය කළ රුපියල් බිලියන 32 ක අලාභය පියවීම සඳහා පවතින තත්ත්වය හමුවේ 18% ක විදුලි ගාස්තු වැඩිවීමක් ප්‍රමාණවත් බව එම මණ්ඩලය පවසනවා.

මීළඟ සංශෝධනය එළඹෙන ජනවාරි මාසයට යෙදී තිබියදී, මේ මාසයේ සිට යළිත් 22% ක ගාස්තු වැඩිවීමක් හෝ විදුලි ඒකකයක් රුපියල් 8කින් වැඩි කිරීමක් මීට පෙර විදුලි බල මණ්ඩලය ඉල්ලා තිබුණා.

එම වැඩිවීම ලබාදීමට නම් සංශෝධිත වාර්තාවක් යොමු කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබූ අතර, මහජන අදහස් ලබා ගැනීමෙන් අනතුරුව විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත්තේ 18% ක ගාස්තු වැඩිවීමක් ප්‍රමාණවත් බවයි.

විදුලිය, ඉන්ධන සහ සෞඛ්‍ය තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විදුලි සැපයුමට සම්බන්ධ සියලුම සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර තිබෙනවා.

එසේම රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලාවල සහ අනෙකුත් රෝගීන්ගේ නඩත්තුව, පිළිගැනීම , රැකවරණය, පෝෂණය සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම කාර්යයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා වන බවයි වැඩිදුරටත් අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

652f60b1a6495pdf_page_0

ඇස් රෝග පැතිරයාමේ අවදාන​ම තවදුරටත්

පාසල් ළමුන් අතර සීඝ්‍රයෙන් ඇස් රෝග පැතිරයාමේ අවදානම තවදුරටත් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඒ අනුව රෝගය වැළඳුන දරුවන් පෙර පාසැල් සහ පාසැල් වෙත යොමු නොකිරීම මඟින් මෙම රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාවක් ලැබෙන බවයි ඔහු සඳහන් කළේ.

මෙහි රෝග ලක්ෂණ ලෙස ඇස් රතුවීම, ඇස් බොඳවීම, කඳුළු ගැලීම, උණ සහ හිසරදය වැනි රෝග ලක්ෂණ ඇතිවන බවත් මෙය ඉතාම ශීඝ්‍රයෙන් බෝවන බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඇස් රෝගය වැළඳුන පුද්ගලයෙක් තමන්ගේ ඇස් ස්පර්ශ කර යම් ස්ථානයක් ඇල්ලීමෙන් පසු එම ස්ථානයම නිරෝගී පුද්ගලයෙක් ස්පර්ශ කර තමන්ගේ ඇස් ස්පර්ශ කළහොත් මෙය බෝවන බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලි ගාස්තු සංශෝධනය ගැන ජනතා අදහස් ලබා ගැනීම අද

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ජනතාවගේ අදහස් සහ යෝජනා වාචිකව ලබාගැනීම අද (18) සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පෙරවරු 9.00 සිට එය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

ජනතාවට විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලිඛිතවද එම කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.