ලලිත් රත්නායකගේ රිවස්ටන් චිත්‍රපටයට ෂැංහයි සිනමා උළෙලේදී සම්මාන ද්විත්වයක්

ප්‍රවීණ අධ්‍යක්ෂක ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘රිවස්ටන්’ චිත්‍රපටය 27 වැනි ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේ Asian New Talent කාණ්ඩයෙන් සම්මාන ද්විත්වයකින් පිදුම් ලබා තිබෙනවා.

එහිදී හොඳම කැමරාකරණය වෙනුවෙන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂක ප්‍රභාත් රෝෂන් ද හොඳම තිර පිටපත වෙනුවෙන් අධ්‍යක්ෂක ලලිත් රත්නායකද සම්මානයෙන් පිදුම් ලබා ඇති බවයි සඳහන් වෙන්නේ.

රිවස්ටන් චිත්‍රපටයට ශ්‍යාම් ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර සහ රන්දික ගුණතිලක ඇතුළු ළු නිලියන් රැසක් රංගනයෙන් දායක වනවා.

news images

news images

200+; Beyond the Struggle ඡායාරූප ප්‍රදර්ශනය හෙට සහ අනිද්දා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සංවිධානය කරන මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය හෙට (23) සහ අනිද්දා (24) දිනවල කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

මලයහ තමිල් ප්‍රජාව මෙරටට පැමිණ වසර 200ක් ඉක්ම ගොස් ඇති අතර ශ්‍රී ලාංකේය නාමය ලොව ඉදිරියේ සනිටුවන් කිරීමෙහිලා තේ කර්මාන්තය වෙනුවෙන් පරම්පරා ගණනාවක් තිස්සේ සිය ශ්‍රමය කැප කරන මලයහ තමිල් ප්‍රජාවගේ ජීවිත සමාජීය, සංස්කෘතික සහ ආර්ථිකමය වශයෙන් තවමත් උසස් තත්ත්වයට පත්ව නොමැති අතර මලයහ තමිල් ප්‍රජාව මුහුණ දෙන ගැටලු, ඔවුන් අත්පත්කරගෙන ඇති සංවර්ධනයන්, ජයග්‍රහණ සහ ඔවුන්ගේ දායකත්වයන් යන තේමා ඔස්සේ මෙම ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වෙනවා.

බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වෙසෙන මලයහ තමිල් තරුණ තරුණියන් විසින් ලබාගත් ඡායාරූප කතන්දර 25 ක් (ඡායාරූප 250 ක්) සහ කෙටි වීඩියෝ පට 20 ක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වන බවයි සඳහන් වන්නේ.

හෙට උදෑසන 11 ට මෙම ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතයි.

news images

news images

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූ බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි

අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය යනු ලෝකයේ තෙල් ප්‍රවාහන කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් සිදු කරන මාර්ගයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඉරාන පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති මෙම තීරණය ක්‍රියාවට නැංවීමේ අවසන් තීරණය ඉරාන උත්තරීතර කවුන්සිලය විසින් ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට එල්ලවූ අමෙරිකානු ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායලයේ උතුරු හා මධ්‍යම නාගරික ප්‍රදේශවලට ඉරාන මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල වී ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.

ඒ අනුව මෙම තත්ත්වය වර්ධනය විය හැකි බව ඊශ්‍රායල ආරක්ෂක අධිකාරිය අනතුරු අඟවා ඇති බවත්  ඊශ්‍රායලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් මෙම තත්ත්වය හමුවේ එල්ල විය හැකි ප්‍රහාරවලින් බේරීම සඳහා ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙසයි තානාපතිවරයා ඉල්ලා සිටින්නේ.

මේ අතර පසුගිය 20 වැනි දින රාත්‍රීයේදී TABA දේශසීමාව  හරහා ශ්‍රී ලංකාව වෙත පිටත්වීමට ඊජිප්තුවට ඇතුල් වූ ශ්‍රී ලාංකිකයින් හතර දෙනාගෙන් වලංගු ඊශ්‍රායල් වීසා නොමැතිව සිටි පිරිස හේතුවෙන් පැය කිහිපයක් රඳවාගෙන ප්‍රශ්න කර තිබුණද පසුව ඔවුන් පිටත්කර යැවීමට කටයුතු කර තිබෙනවා.

අල්ලස් ගත් අම්පාරේ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

අල්ලස් ගැනීමේ චෝදනා මත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට සහ ව්‍යාපාරය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් ලබා ගැනීමට තැත් කිරීමේ චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් දැනුම්දීමක්

ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධව තොරතුරු විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු සිටි බවත් ඉන් සිව් දෙනෙකු මේ වන විට රටින් පිටව ගොස් ඇති බවත් මේ වන විට ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 37 දෙනෙකු සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් සිව් දෙනෙකු හෙට (23) දිනයේදී තුර්කි දේශසීමාව හරහා පිටත්වීමට නියමිත බවයි විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : ගැටුම ඉක්මනින් පාලනයෙන් මිදීමේ අවදානමක් ඇති බවට UN අනතුරු අඟවයි

ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර යුධමය තත්ත්වයක් ඇතිවූ අතර, මේ වන විට එය තීරණාත්මක ස්ථානයකට පැමිණ තිබෙනවා.

එහි නවතම තත්ත්වය : 11.15 AM

* ඉරානයේ නටාන්ස්, ඉස්ෆහාන් සහ ෆෝඩෝ යන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කර තිබෙනවා.

* ප්‍රහාරයෙන් පසුව ජාතිය අමතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, මෙහෙයුම සාර්ථකවීම සම්බන්ධයෙන් අමෙරිකානු හමුදාවට ප්‍රශංසා කරන බවත් ඉක්මනින් සාමය ඇති කර ගැනීමට හෝ වඩා විශාල ප්‍රහාරවලට මුහුණදීමට සූදානම්වන ලෙස අනතුරු අඟවන බවයි.

* මේ අතර සිය රටට ප්‍රහාර එල්ල වූ බව ඉරානය විසින් පිළිගෙන ඇති අතර සිදුවූ හානිය සම්බන්ධයෙන් ඔවුන් මේ වන තෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

* කෙසේ නමුත් ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ෆෝඩෝ න්‍යෂ්ටික භූමිය විනාශ කිරීම ගැන අසත්‍ය ප්‍රකාශ කරන බවත් ෆෝඩෝ පිවිසුමේ සහ පිටවීමේ උමං මාර්ග දෙකකට පමණක් හානි සිදුවී ඇති බවයි.

* ‍ප්‍රහාරයෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ, මෙය භයානක තත්ත්වයක් බවත් මෙම ගැටුම ඉක්මනින් පාලනයෙන් මිදීමේ අවදානමක් ඇති අතර මේ සඳහා ඇති එකම විසඳුම වන්නේ මිලිටරි යුද්ධයක් නොව රාජ්‍ය තාන්ත්‍රිකභාවය බවත් එකම බලාපොරොත්තුව සාමය බවයි.

* හමාස් සංවිධානය අමෙරිකාවේ ප්‍රහාරය හෙළා දකිමින් නි‍වේදනයක් නිකුත් කර තිබෙනවා.

* ඉරාන විදේශ අමාත්‍ය සෙයිඩ් අබ්බාස් අරග්චි, ප්‍රහාරය සම්බන්ධයෙන් සඳහන් කරන්නේ, ඉරානය තමන්ව ආරක්ෂා කර ගැනීම සඳහා සියලු පියවර ගෙන ඇති බවත් අද උදෑසන සිදුවීම් ප්‍රකෝපයට පත් කරන බවත් සදාකාලික ප්‍රතිවිපාක ඇති කරනු ඇති බවත් එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය “බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි.

* ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට පහර දීමෙන් පසු පිටත විකිරණ මට්ටම්වල වැඩිවීමක් නොමැති බව එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය හා  ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පවසනවා.

යාවත්කාලීන කිරීම් බලාපොරොත්තු වන්න.

බදුල්ල බස් රථ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළට

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළීයාමෙන් ඊ‍යේ (21) පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 34 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

වන්දනාකරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ 4 කණුව ප්‍රදේශයේදී විදුලි කණුවක ගැටී බස් රථය පෙරළී ගොස් ඊයේ මෙලෙස අනතුරට පත්ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ රිය සහායක බදුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී රථය පදවා ඇත්තේ රියදුරු සහායක විසින් බවයි පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ.

news images

news images

news images

ජුනි 30 විශේෂ පාර්ලිමේන්තු දිනයක්

ජූනි 30 විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් පැවැත්වීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙසේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ජූනි 30 වැනිදා පෙ.ව. 9.30ට කැඳවීමට නියමිතයි.

එසේම, ජූලි 08, 09 සහ 11 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට මෙහිදී තීරණය කළ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

news images

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමේ දුම්රිය ස්ථානයක් ලෙස වැඩිදියුණු කරනවා – දුම්රිය සාමාන්‍යාධිකාරී

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමේ දුම්රිය ස්ථානයක් බවට වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර පවසනවා.

ඒ අනුව, එම සැලසුම් සඳහා මේ වන විට මුදල් ලැබී බවත්, මේ වසර අවසානයට පෙර කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ආරම්භ කරන බවයි ඔහු පවසා සිටියේ.

එහිදී මගීන්ගේ පහසුව සැලසීම කෙරෙහි වැඩි අවදානය යොමු වී තිබෙන බවද, දැනට කොටුව දුම්රිය ස්ථානයේ ඇති ගෘහ නිර්මාණ ශිල්පයට ගැලපෙන පරිදි නවීකරණය කිරීම් සිදුකරන බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කර සිටියා.

යාන්ත්‍රික පඩිපෙළවල් (escalator) හා නවීන ප්‍රවේශපත් ද්වාර (Ticketing Gates) වැනි අළුත් අංගෝපාංග යොදා සිදුකරන ‍නවීකරණය කිරීම් මෙයට ඇතුළත් වන බවත්, 2026 වසර අවසන් වන විට මෙම කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

මහාමාර්ගයේ සිට මගීන්ට මෙම දුම්රිය ස්ථානයට ඇතුලුවීම සඳහා නව ගුවන් ප්‍රවේශ මාර්ග, මහල් තුනක අලුත් ගොඩනැගිල්ලක් හා නව දුම්රිය වේදිකාවක්ද සැකසීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.