සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට ඩොලර් මිලියන 100 ක් ලබාදීමට එකඟතාවක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වැඩිදියුණු කිරීමේ මූල්‍ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව සිය ව්‍යාපාර සඳහා අරමුදල් සපයා ගැනීම තවදුරටත් දුෂ්කර වී ඇති ව්‍යවසායකයන් වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වැඩිදියුණු කිරීමේ මූල්‍ය ව්‍යාපෘතිය යනුවෙන් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළකර ඇති අතර එම ණය මුදල ලබාගැනීම සඳහා ඊට අදාළ ගිවිසුම්වලට එළැඹීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

65378019c1b68

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ඊයේ රාත්‍රියේත් ප්‍රදේශ කිහිපයක විරෝධතා

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක ඊයේ (23) රාත්‍රියේ විරෝධතා පවත්වා තිබෙනවා.

ඒ අනුව පන්නිපිටිය, රන්න, දඹුල්ල, වෙන්නප්පුව, හලාවත, වේයන්ගොඩ, මහබාගේ, කටුගස්තොට යන ප්‍රදේශවල ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය විසින් මෙම විරෝධතා සංවිධානය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

653757695a8e3 6537576972d08 653757696b418

ත්‍රස්තවාදයට චෝදනා ලැබු දෙදෙනෙක් අසාදු ලේඛනයෙන් ඉවත් කෙරේ

ත්‍රස්තවාදය හා ඊට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල දීම හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නික්ලාපිල්ලේ ඇන්තනී එමිල් ලක්ෂ්මි කාන්දන් හෙවත් රමේෂ් සහ මුරුගේසු ශ්‍රී සන්මුගරාජා යන පුද්ගලයින්ගේ නම් මෙලෙස ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඊයේ (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ඉවත් කිරීම සිදුකර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

653751d6e2511pdf_page_0

ලබන අවුරුද්දේ ඔක්තෝම්බර් වෙනකොට අපේ රටේ තියෙන්නේ අලුත් ආණ්ඩුවක්, අලුත් පාලනයක් – අනු​ර

ආණ්ඩු පෙරළියක් සිදුවන මැතිවරණ වැළැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශාල උත්සහයක් දරමින් සිටියද එය වැළැක්වීමට ඔහුට නොහැකි වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මේ වන විට මහජනතාව ඉවසාගත නොහැකි තරමට පීඩාවට පත් වී ඇති බවද, ඔවුන් තවදුරටත් ඉවසා සිටින්නේ ලබන වසරේ ජාතික ඡන්දයට තව ඇත්තේ කෙටි කාලයක් බැවින්, එහිදී තම වැඩ පෙන්වීමේ බලාපොරොත්තුවෙන් බවද ඔහු පෙන්වා දෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඡන්දය නොතියා බලයේ සිටීමට උත්සාහ කළහොත්, ව්‍යවස්ථානුකූලව ඔහුට බලයේ සිටිය හැකි කාලයවත් ඔහුට සිටිය නොහැකි වනු ඇති බවද, ඔහු ගෝඨාභය 02 බවට පත්වනු ඇති බවද ඔහු අවධාරණය කරනවා.

පවතින ව්‍යවස්ථාව අනුව ලබන වසරේ අගෝස්තු මාසයේදී මැතිවරණය ප්‍රකාශයට පත්කළ යුතු බවද, එමනිසා ඔවුන් කුමන උත්සාහ දැරුවද ලබන වසරේ ඔක්තෝබර් මාසය වන විට මෙරට අලුත් ආණ්ඩුවක් සහ අලුත් පාලනයක් ඇති වන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඩෙංගු රෝගීන් වාර්තා වීම යළි ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය, ගඟ වට කෝරලයේ ප්‍රදේශය, කොළඹ, නුගේගොඩ, ගොතටුව, ගම්පහ සහ අත්තනගල්ල යන ප්‍රදේශවල ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වන බවයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කළේ.

වසරේ මේ දක්වා ඩෙංගු රෝගින් 66,500 ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් මියගොස් ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 39 ක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙරටට වීසා නොමැති​ව ඇතුළුවීමට රටවල් 7 කට අවසර

රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා මෙය ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර ලබාදෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

653743a376230

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරටට අයත් බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජ්‍ය බුද්ධි සේවාවට ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී මෙම යාත්‍රාව නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මේ වනවිට කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතින බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ධීවරයින්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මධ්‍ය – බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඉදිරි පැය 12 තුළ දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් බංග්ලාදේශ වෙරළ වෙත ගමන් කරනු ඇති බවයි සඳහන් වන්නේ.

උතුරු අක්ෂාංශ 14 සහ 20 සහ නැගෙනහිර දේශාංශ 84 සහ 92 අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 40 – 45ත් අතර එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වන අතර මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර ප්‍රජාවගෙන් කාලගුණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

එසේම මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි වැඩිදුරටත් දැනුම්දෙන්නේ.

653643e7c1da1pdf_page_0

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව මෙම සතිය තුළ ඒ අවශ්‍ය නිශ්කාෂණය ලබාදීම සඳහා කටයුතු කරන බවට නීතිපතිවරයා දැනුම්දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ජලාශ තිබෙන සමනල වැව, වික්ටෝරියා, රන්දෙණිගල වැනි ප්‍රධාන ජලාශ තිබෙන සීමාවලට නිසි වර්ෂාපතනයක් නොලැඹෙන බවත් ජලාශවල තිබෙන ධාරිතාවෙන් මේ වනවිට භාවිතා කිරීමට හැක්කේ 65.81% ක් බවද ඔහු සඳහන් කළා.

එය පෙර වසර සමඟ සැසඳීමේදී 20% ක පමණ පහත යාමක් බවයි අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ

හරීන් සහ මනුෂගේ පෙත්සම් විභාගය 27 වනදා දක්වා කල්තැබේ

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් විභාගය මේ මස 27 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව අද පෙත්සම් කැඳවූ අවස්ථාවේදී පෙර දින මෙම පෙත්සම් විභාගයට සහභාගි වූ විනිසුරු මඩුල්ල නිසියාකාරව සංයුක්ත වී නොමැති හෙයින් එම පෙත්සම් පිළිබඳ විභාගය ලබන 27 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි පෙත්සම්කරුවන් සිය පෙත්සම් මඟින් පෙන්වාදෙන්නේ.