රාජාංගණයේ සද්ධාරතන හිමිට වරෙන්තු

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර අනතුරුව ඇප මත මුදා හැරුණු පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී සැකකාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටීම මත වරෙන්තුවක් නිකුත් කරමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

සැකකාර හිමිගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් ඒ බව ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත දන්වා යවන ලෙසත් එම නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.

චීන නෞකාව අද කොළඹ වරායට

මෙරටට පැමිණීමට අවසර ලබාදුන් චීනයේ “Shi Yan 6” නෞකාව අද (25) කොළඹ වරායට සේන්දු වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.

එම  නෞකාව එළඹෙන නොවැම්බරයේ දිවයිනට පැමිණීමට අවසර දුන් බවට මීට පෙර සඳහන් කර තිබූ අතර කෙසේ නමුත් අදාළ නෞකාව සඳහා නිල අවසරය ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ යන විදියට ගියොත් විදුලිබල මණ්ඩලය විතරක් ඉතුරු වෙලා අනිත් ඒවා වැහිලා යාවි – දිලුම්

නැවතත් විදුලිබිල වැඩි කිරීමට කටයුතු කිරීම තුළින් ආයෝජන ප්‍රවර්ධන කර්මාන්ත රැසක් වසා දැමීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ඒ අනුව කර්මාන්ත ක්ෂේත්‍රයේ කඩා වැටීම මඟින් සිදු කිරීමට අපේක්ෂිත ආර්ථික දියුණුව ගැන ගැටලු සහගත බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ආදායම හා වියදම සමබර කිරීමේ උපාය මත මේවා සිදුවන බවත් මේ යන ආකාරයට ගියහොත් විදුලිබල මණ්ඩලය පමණක් ඉතිරීවී අනෙක් සියල්ල වැසී යනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙරට ආයෝජනය කරන ලෙස ආයෝජකයින්ට ආරාධනා කර විදුලි බිල වැඩි කිරීමෙන් පසු එම ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම ඉතා අපහසු කාරණයක් වී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ඊයේ රාත්‍රියේත් ප්‍රදේශ කිහිපයක මහජන විරෝධතා

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක ඊයේ (24) රාත්‍රියේත් මහජන විරෝධතා පවත්වා තිබෙනවා.

ඒ අනුව කඩවත, දෙබරවැව, හෙම්මාතගම, ගාල්ල යන ප්‍රදේශවල ජාතික ජන බලවේගය විසින් මෙම විරෝධතා සංවිධානය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Asian Para Games : ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනා ගැනීමට සමිත දුලාන් සමත්වී තිබෙනවා.

ඒ අනුව ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ F64 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ඔහු මෙම රිදී පදක්කම දිනාගෙන තිබෙන අතර ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 64.09 ක්.

ඇන්ජලෝ මැතිව්ස් ලෝක කුසලාන සංචිතයට

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය සඳහා ඇන්ජලෝ මැතිව්ස් එක්කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙලෙස ඇන්ජලෝ මැතිව්ස් එක්කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙතෙක් ශ්‍රී ලංකා සංචිතය සමඟ රැඳී සිටි මතීෂ පතිරණ යළි ලංකාවට පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Asian Para Games : ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් සමත්වී තිබෙනවා.

ඒ අනුව නුවන් ඉන්දික T44 මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කම දිනාගෙන ඇති අතර තත්පර 11.63 කින් ඔහු තරඟය අවසන් කිරීමට සමත්ව තිබෙනවා.

එසේම ප්‍රදීප් සෝමසිරි  T46 මීටර් 1500 ඉසව්වෙන් රන් පදක්කම දිනාගෙන ඇති අතර ඔහු මිනිත්තු 4:05.14 කින් තරගය අවසන් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ICC CWC 2023 : මහේල යළි ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන යළි ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වී තිබෙනවා.

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ රැඳී සිටි ඔහු පසුගියදා යළිත් දිවයිනට පැමිණ ඇති අතර අද දිනයේ යළිත් කණ්ඩායම සමඟ එක්ව ඇති බවයි සඳහන් වන්නේ.

ගුරු – විදුහල්පති විරෝධතාව​යට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සංධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ අනුව විරෝධතාකරුවන් පා ගමනින් පාලම් තුන හන්දියට පැමිණි අවස්ථාවේ දී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් බොරැල්ල – කොට්ටාව ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට චර්යා ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට අවධාන​ය

ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරියක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ලෝකයේ බොහෝ රටවල මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ චර්යා ධර්ම පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙන බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව එම කාර්යය සඳහා සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත පිළිබඳව කතානායක සහ සියලුම පක්ෂ නායකයන් ගේ අදහස් ලබා ගැනීමටත් අනතුරුව එකී අදහස් සැලකිල්ලට ගනිමින් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගවීම, විශ්වාසනීයත්වය, පැහැදිලි භාවය හා වෘත්තීය භාවය පිළිබඳ සහතික වීම, ව්‍යස්ථාදායකයේ සඵලත්වය ආදිය, විනිවිදභාවය සහ සාධාරණත්වය පිළිබඳව මහජන විශ්වාසය ඉහළ නැංවීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

65377e7de132d