ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද කොළඹදී විරෝධතාවල

ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද (23) කොළඹ දී විරෝධතා ක්‍රියාමාර්ගයක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය අංශයේ විධායක නිලධාරී සේවා ගණයට අයත් ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, පශු වෛද්‍යවරුන්, විශේෂඥ හා තාක්ෂණික නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති මේ සඳහා එක්වන බවයි සඳහන් වන්නේ.

සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම විරෝධතා සංවිධානය කර ඇති බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති ඒ.එච්.එල් උදයසිරි වැඩිදුරටත් සඳහන් කළේ.

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමති ධූරයෙන් ඉවත​ට

සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඉවත්කර ඇති අතර ඔහු පරිසර අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව වෛද්‍ය රමේෂ් පතිරණ නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇති අතර ඔහු කර්මාන්ත අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනවා.

මීට අමතරව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය සඳහා මහින්ද අමරවීර පත්කර ඇති අතර දැනට මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරන රංජිත් සියඹලාපිටිය කැබිනට් නොවන වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක රාත්‍රී විරෝධතා

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක ඊයේ (22) රාත්‍රියේ විරෝධතා පවත්වා තිබෙනවා.

ඒ අනුව පානදුර, අම්බලන්තොට, අනුරාධපුර, තලවකැලේ, යක්කල, මහනුවර, උඩුගම හා පේරාදෙණිය හන්දිය යන ප්‍රදේශවල ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය විසින් මෙම විරෝධතා සංවිධානය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ රැස්වීම් පැවැත්වීම ගැන චක්‍රලේඛයක්

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දිස්ත්‍රික් ලේකම්වරුන් හෝ ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධ කරගනිමින් සිදුකරනු ලබන රැස්වීම් සතියේ අඟහරුවාදා සහ සිකුරාදා යන දින දෙක තුළ පමණක් සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන ලේකම්වරයා දැනුම්දී ඇත්තේ.

වැඩකරන වේලාව තුළ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ රැස්වීම් සඳහා නිරන්තරයෙන් සහභාගීවීමට සිදුවීම හේතුවෙන් නිලධාරීන් මුණගැසීමට පැමිණෙන මහජනතාවට ගැටලු රැසකට මුහුණපෑමට සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

අදාළ චක්‍රලේඛය පහතින්.

6535ee81e0e18pdf_page_0

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (23) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අසනීප නිවාඩු වාර්තා කර මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බවයි එම සංගමයේ ලේකම් ශානක බෝපිටියගේ සඳහන් කළේ.

කෝටි 400ක හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් පස්දෙනෙක් දෙවුන්දර මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව රුපියල් කෝටි 400 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 කට අධික තොගයක් සමග මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය එක්ව ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මොවුන් අත්ඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රේමසිරි හේවාවසම් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (22) අලුයම ඇතිවූ හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්තවී ඇති අතර මියයන විට ඔහු 64 වන වියේ පසු වුණා.

ප්‍රේමසිරි හේවාවසම් මෙරට ජනප්‍රිය ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පියෙක් ලෙස කටයුතු කර තිබෙන අතර ඔහු රූපලාවණ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් නවක පිරිස් දයාද කිරීමටද කටයුතු කර තිබෙනවා.

රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වෙයි

මෙරට ජ්‍යේෂ්ඨතම නර්තනවේදිනියක් වන කලාශූරී රැජිණි සෙල්වනායගම් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය රෝගාතුරව සිටියදී අභාවප්‍රාප්ත වී ඇති අතර මියයනවිට ඇය 71 වන වියේ පසුවුණා.

ශ්‍රී ලංකාවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම නර්තන ආචාර්යවරිය වන රැජිණි සෙල්වනායගම් කලාකීර්ති සහ විශ්වකලා කීර්ති සම්මානවලින්ද පිදුම් ලබා තිබෙනවා.

ලබන වසරේ සිට දෛනික ඉන්ධන මිල සංශෝධන ක්‍රමයක්

දෛනිකව ඉන්ධන මිල ගණන් තීරණය කෙරෙන මිල සූත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ  අනුව 2024 වසරේ පෙබරවාරි මාසයේ සිට එම ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරන බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

රජය විසින් නිවේදනයක් නිකුත් කරනවාට වඩා ඉන්ධන බෙදා හරින ආයතන විසින්ම ඔවුන්ට පාඩුවක් නොවන ආකාරයට ස්වයංක්‍රීයව සිදුවන මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරනවා – ජනපති

Smart රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනඟමින් රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් අනතුරුව ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය ද පවත්වා 2025 මුල් භාගයේ දී පළාත් සභා මැතිවරණය ද පැවැත්වීමට හැකි වනු ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

6534716631ed1pdf_page_0

6534716649a62pdf_page_1