‍එළඹෙන සතියේ ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට

ඉදිරි සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අනිද්දා (07) දිනයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර ලබන බදාදා දිනයේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

බ්‍රහස්පතින්දා දිනයේ සබරගමුව විශ්වවිද්‍යාලය කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

රත්‍රන් තොගයක් සමඟ 5 ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කල බවට සැකකෙරෙන රත්‍රන් කිලෝග්‍රෑම් 02 කට අධික තොගයක් සමග සැකකරුවන් පිරිසක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මන්නාරම් මුහුදේදී මෙම වැටලීම සිදුකර තිබෙන අතර සැකකරුවන් 05 දෙනෙකු එහිදී නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී ඩිංගි යාත්‍රාවක්, ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර සැකකරුවන් වයස අවුරුදු 28ත් 56ත් අතර වයසේ  පසුවන වංකාලේ සහ මන්නාරම යන ප්‍රදේශයන්වල පදිංචිකරුවන් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල ඉහලට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ආපනශාලා ආහාර පාන කිහිපයක මිල ඉහල දැමෙන බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එම ආහාර පාන වල වැඩි වන මිල ගණන් පහතින්.

* ප්ලේන් ටී – රු.5 කින්

* කිරි තේ – රු.10 කින්

* බත් පැකට්ටුවක් – රු.20 කින්

* ෆ්‍රයිඩ් රයිස් – රු.20 කින්

* කොත්තු – රු.20 කින්

පොහොට්ටුවේ 7 වැනි සංවත්සරය නිමිත්තෙන් පිරිත් පිංකමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 7 වැනි සංවත්සරය නිමිත්තෙන් පිරිත් පිංකමක් පවත්වා තිබෙනවා.
එම පක්ෂයේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් මේ සඳහා සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

IMF යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මහනුවරදී විරෝධතාවයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට යෝජනා කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස රජයට බලකරමින් අද (04) මහනුවරදී විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

ජාතික හරිත පෙරමුණ විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවය සඳහා එහි නායක වෛද්‍ය පැතුම් කර්නර් ඇතුළු පිරිසක් සහභාගී වී අති බවයි වාර්තා වන්නේ.

තෙවැනි පාසල් වාරයේ අතරමැද නිවාඩු කාලය ප්‍රකාශයට පත් කෙරේ

2023 තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් 22 වැනිදායින් අවසන් වී දෙවන අදියර පෙබරවාරි 02 වනදා ආරම්භ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

තෙවැනි පාසල් වාරය පසුගිය නොවැම්බර් 01 වැනිදා ආරම්භ වූ අතර, උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 වැනි දින සිට පැවැත්වීමට නියමිත වීම හේතුවෙන් මෙලෙස තෙවන වාරය අදියර දෙකක් යටතේ පැවැත්වෙනවා.

කට වහන නීති වලට එරෙහිව නොවැම්බර් 06 ඒකාබද්ධ විරෝධතා සම්මන්ත්‍රණයක්

ආණ්ඩුව ගෙන එන “කට වහන නීති” වලට එරෙහිව ලබන සඳුදා (06) වෘත්තීය සමිති, බහුජන සංවිධාන, නීතිඥයින් සහ සියලු ප්‍රජාව ඒකාබද්ධව විරෝධතා සම්මන්ත්‍රණයක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට කිසි ලෙසකින් මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට නොහැකි බවද විදුලිය, ඉන්ධන හා ජීවන වියදම ඉහළ ගොස් ඇති පසුබිමක, ජනතාව පාරට බැසීම වැළැක්වීම සඳහා මෙම පනත් ගෙන එන බවද ඔහු පෙන්වා දෙනවා.

ප්‍රතිත්‍රස්ථ පනත සහ මාර්ගගත ක්‍රමවේදවල සුරක්ෂිතතාව පිළිබඳ පනත ලස්සන වචන යොදා ගෙන ඒමට යන්නේ, රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීම පාලනය කිරීමට බවද, එයට ඉඩ නොතියන බවද ඔහු අවධාරණය කරනවා.

පාරට බැස ගෝඨාභය රාජපක්ෂ එළ වූ ජනතාව, මෙම කට වහන නීති වලට එරෙහිව පාරට බැසීමට සූදානම් බවද, මෙම පනත් ඉල්ලා අස්කර ගන්නා තුරු මෙම විරෝධතාවය ඒකාබද්ධව ගෙනයන බවද, ජයග්‍රහණය නොකර ආපසු නොහැරෙන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අඛණ්ඩ පරාජයන් සම්බන්ධයෙන් වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් තේරීම් කමිටුව බාරගත යුතු බවද, දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පෙර ඔවුන්ට ඉල්ලා අස්වන ලෙසද ඊයේ (03) ක්‍රීඩා අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කර තිබුනා.

ලිට්‍රෝ ගෑස් මිල රු.95 කින් ඉහළට

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමෙන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරනවා.

ඒ අනුව බහුලව භාවිතා වන කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.95 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු.3,565 ක්.

කිලෝග්‍රෑම් 05ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.38 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු.1.431 ක්.

කිලෝග්‍රෑම් 2.3ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.18 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු.668ක් ලෙසයි සඳහන් වන්නේ.