ජනාධිපති ඇවිත් ඉන්නේ පොහොට්ටුවේ මුදල් ඇමති විදියට, අපේ ප්‍රතිපත්ති තියෙන්න ඕනේ – නාමල්

මෙවර අයවැය තුළින් ඉදිරිපත් කළ බොහෝ කාරණා ගියවර අයවැය තුළද පැවති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව එකම කාරණය දෙවරක් පැවසීම යනු එය ප්‍රායෝගිකව බිම් මට්ටම තුළ ඉටුවී ඇද්ද නැද්ද යන්න සම්බන්ධයෙන් ගැටලු සහගත බවයි අයවැයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අයවැය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව තම අදහස් පාර්ලිමේන්තු විවාදයේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුදල් අමාත්‍යවරයා ලෙස බවත්, ඒ හේතුවෙන් පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති අයවැය යෝජනා තුළ පැවතිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප ඉහළ දැම්මේ රජයට පුළුවන් උපරිම ගාණෙන් – රංජිත් සියඹලාපිටිය

මේ අවස්ථාවේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීමට කටයුතු කර ඇත්තේ රජයට හැකි උපරිම හැකියාවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

බුද්ධිමත් රාජ්‍ය සේවකයින් මේ සම්බන්ධයෙන් ධනාත්මකව දකිනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි අයවැයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙවර අයවැය තුළින් රාජ්‍ය සේවකයන් හා විශ්‍රාමිකයින් වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු වූ බවත් බදු ගෙවන්නන් බදු වැඩි නොවනු ඇති බවට බලාපොරොත්තු වූ බවත් එම ඉල්ලීම් දෙක තුලනය කිරීමට රජයට විශාල වෙහෙසක් දැරීමට සිදුවූ බවයි රාජ්‍ය අමාත්‍යයවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

හරියටම දැනගත්තා එළැඹෙන වසරේ මැතිවරණය තියෙනවා කියලා – හර්ෂ

ඉදිරි වසරේ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ජනාධිපතිවරයා විසින් විවිධ දේවල් ලබාදීමට මෙවර අයවැය තුළින් කටයුතු කර ඇති බව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසනවා.

රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීමට කටයුතු කර ඇති අතර එය අප්‍රේල් මාසයේ සිට ලැබීමෙන් අදහස් වන්නේ අප්‍රේල් හා ඔක්තෝම්බර් අතර මැතිවරණයක් පැවැත්වෙනු ඇති බවටයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙවර අයවැය තුළින් ආර්ථිකය නිවැරදි දිශානතියකට ගමන් කරවීම සඳහා උත්සාහයක් ගෙන ඇති බව පෙනෙන්නට ඇති බවත්, නමුත් එය ක්‍රියාත්මක කළ හැකිද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවද ඔහු සඳහන් කළා.

ණය ගැනීමේ සීමාව විශාල වශයෙන් වැඩි කර ඇති බවත් එම ණය ලබාගන්නේ කෙසේදැයි සම්බන්ධයෙන්ද ගැටලු පවතින බවයි හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙවර අයවැය ශ්‍රී ලංකාව නගාසිටුවීමේ වැඩ පිළිවෙලක ආරම්භයක් – රංජිත් සියඹලාපිටිය

ශ්‍රී ලංකාව නගාසිටුවීමේ වැඩ පිළිවෙලක ආරම්භයක් ලෙස මෙවර අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ජනතාව මුහුණ දී ඇති කෙටිකාලීන ගැටලුවලට විසඳුම් සොයමින් දීර්ඝකාලීන වැඩපිළිවෙළක් යටතේ මෙවර අයවැය ඉදිරිපත් කරනු ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

බලංගොඩ නායයෑමකින් සිව්දෙනෙක් අතුරුදන්

බලංගොඩ ගවරන්හේන වැයින්තැන්න ප්‍රදේශයේ නිවාස හතරක් නායයාමකට හසුවී ඇති අතර ඉන් එක් නිවාසයක් සම්පූර්ණයෙන්ම යටවී තිබෙනවා.

ඒ අනුව එම නිවසේ සිටි හතර දෙනෙකු අතුරුදහන් බවට සැක කෙරෙන බවයි සඳහන් වන්නේ.

අතුරුදහන් වූවන් සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

තරග පරාජයවීම ගැන ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා – කුසල්

තරග පරාජයට පත්වීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලා සිටින බව ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පවසනවා.

ඒ අනුව පරාජයන් සඳහා කිසිඳු බාහිර පාර්ශවයක බලපෑමක් එල්ල නොවූ බවයි විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කුසල් මෙන්ඩිස් සඳහන් කළේ.

නායකත්වය තමාට පීඩනයක් නොවූ බවත් තරගාවලියේ පළමු තරග දෙක හොඳින් ක්‍රීඩා කළත් පසුව ලකුණු අතරට පැමිණීමට නොහැකිවීම තමන්ට පීඩනයකින් වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේක තමයි අපිට ඉන්න හොඳම කුසලතා පිරි කණ්ඩායම – මහේල

දැනට සිටින ක්‍රීඩකයින්ගෙන් හොඳම කුසලතා පිරි කණ්ඩායම වත්මන් කණ්ඩායම බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන පවසනවා.

නමුත් ජයග්‍රහණය කිරීමට තිබූ තරග කිහිපයක් ක්‍රීඩකයින්ගේ කුසලතාවල ගැටලු හේතුවෙන් පරාජයට පත්වූ බවයි විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එසේම තරග පරාජය වීම සම්බන්ධයෙන් ඉන්දියාවෙන් හෝ කිසිම ඉහළ තැනකින් බලපෑමක් එල්ල නොවූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජනක රත්නායකට මරණ තර්ජන කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකට මරණීය තර්ජන සහ කප්පම් ගැනීමට උත්සාහ කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසීය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 42 හැවරිදි සැකකරුවෙක් වන අතර සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දීපාවලී උත්සවය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන්, භක්තියෙන් හා උත්සවාකාරයෙන් සමරන දීපාවලී දිනය අදට යෙදී තිබෙනවා.

නව සඳ උදා වීමට සමගාමී ව යෙදෙන දීපවාලී උත්සවය හරහා අයහපත පරදා යහපතත් අදුර පරදා ආලෝකය උදා වීමත් සංකේතවත් කෙරෙනවා.

මෙරට හින්දු ජනතාවද මෙවර දීපවාලී උත්සවය සැමරීම සඳහා කටයුතු කරනු ලබන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ICC CWC 2023 : පාකිස්ථානයට ලකුණු 338 ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 44 වන තරගය එංගලන්ත කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 50 ක් තුළදී කඩුලු 9 ක් දැවී ලකුණු 337 ක් ලබාගත්තා.

පන්දුවට පහරදීමේදී Ben Stokes ලකුණු 84ක්, Joe Root ලකුණු 60 ක් හා Jonny Bairstow ලකුණු 59 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Haris Rauf කඩුලු 3 ක් ද, Shaheen Shah Afridi හා Mohammad Wasim කඩුලු ‍2 බැගින් ද බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා පාකිස්ථාන කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 338 ක්.