එළැඹෙ​න මැතිවරණ ගැන සාකච්ඡාවකට එජාප ප්‍රබලයින් අද රැස්වේ

ඉදිරියේදී එළැඹෙන මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් පිරිසක් අතර සාකච්ඡාවක් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

2024 ජනවාරි සිට නව නිලධාරී මණ්ඩලයක් සමග පක්ෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද ඒ අනුව මෙම සාකච්ඡාව තීරණාත්මක සාකච්ඡාවක් වනු ඇති බවද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරනවා.

රුපියල් 20,000 වැටුප් වැඩි කිරීම ඉල්ලා රාජ්‍ය සේවකයින් විරෝධතාවල

රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (27) දිනයේ සියලු රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබුණා.

ඒ අනුව රුපියල් 20,000 වැටුප් වැඩි කිරීම, වැඩි කරන දීමනා හා වැටුප් ජනවාරි මාසයේ සිට ලබාදීම, 2016 සිට අහිමි කර ඇති පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යළි ලබාගැනීම වෙනුවෙන් මෙම විරෝධතා සංවිධානය කර තිබුණා.

මෙම විරෝධතා හවල් 12.00 ට කෑම පැය තුළ පැවති අතර මේ සඳහා රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් එක්ව තිබුණා.

656468195c72f 656468190f1da

නව පොලිස්පති පත්කිරීම ගැන විශේෂ සාකච්ඡාවක් අද

නව පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයා හා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර අද දිනයේදී පොලිස්පති ධූරය සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණීමට නියමිත බවයි පැවසෙන්නේ.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පසුගිය 24 වැනිදා සිය ධූරයෙන් විශ්‍රාම ගනු ලැබුවා.

අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු පැළඳවීම ගැන විමර්ශනයක්

අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරු වස්ත්‍රයක් පැලඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

ඒ අනුව පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ (26) දිනයේ අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරක් පැළඳවීමේ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා දැඩි විවේචනයක් එල්ලවී තිබුණා.

මගේ ජීවිතය නැති වුනොත් ජනාධිපතිට සහ සාගලට වග කියන්න වේවි – ක්‍රීඩා ඇමති

පවතින තත්ත්වය තුළ තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපතිවරයාට සහ සාගල රත්නායක ඇතුළු පිරිසට වගකීමට සිදුවනු ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

තමාගේ ජීවිතය පිළිබඳ අද වනවිට අවිනිශ්චිත තත්ත්වකට මුහුණ දී ඇති බවයි අද (27) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් නොකරන ලෙසත් 134 ක් ඡන්දය ලබාදී රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබාදී ජනාධිපති ධූරයට පත් කළේ, පළිගැනීම් සිදු කිරීමටදැයි ගැටලුවක් පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත පරීක්ෂාවට අභියාචනා භාරගැනීම අද සිට ඇරඹේ

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීම සඳහා අභියාචනා කැඳවීම අද (27) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබන දෙසැම්බර් මස 04 වනදා දක්වා එම අභියාචනා ඉදිරිපත් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගිය 16 වනදා නිකුත් කළා.

උත්සව සමය වෙනුවෙන් සහල් ආනයනය කිරීමට පියවර

එළඹෙන උත්සව සමයේ අවශ්‍ය සහල් සැපයීම සඳහා සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව උත්සව සමය තුළ සහල් හිඟයක් ඇතිවීම මගහරවා ගැනීමට සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේ දී අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කර ඇත්තේ.

මහ පරිමාණ මෝල් හිමියන් විසින් වෙළෙඳපොළට කීරි සම්බා සහල් නිකුත් නොකර සඟවා තබාගැනීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ මේ වනවිට කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී ඇති බවයි සඳහන් වන්නේ.

ක්‍රිකට් විමර්ශන‍යෙන් කෝප් සභාපති ඉවත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශන කටයුතුවලින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

පක්ෂ නායක රැස්වීමේදී සියලු සාමාජිකයින්ගේ එකඟතාවය මත මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විමර්ශන කටයුතු කෝප් කමිටුවේ වෙනත් සාමාජිකයෙකුගේ මුලිකත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඉල් පුර පසළොස්වක පොහොය අදයි

ඉල් පුර පසළොස්වක පොහොය දිනයට අදට (26) යෙදී තිබෙනවා.

මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබිමට ප්‍රථම ධර්ම දූතයන් ලෙස රහතන් වහන්සේ හැට නමක් ධර්ම ප්‍රචාරක කටයුතු ඇරඹීම සිදු වූයේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහෝ දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

එමෙන්ම තුන් බෑ ජටිල දමනය, සැරියුත් හිමියන් පිරිනිවන්පෑම යන වැදගත් සිදුවීම්ද ඉල් පුර පොහොය දිනයේදී සිදු වූ බව ශාසන ඉතිහාසයේ සදහන් වනවා.

චීවර මාසයේ අවසන් පොහොය වන්නේ ද ඉල් පුර පසළොස්වක පොහොය වන අතර ඉල් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.

මාධ්‍ය මර්ධනයට ගෙන එන නව පනත් කෙටුම්පත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නෑ – එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්

විකාශන නියාමන අධිකාරී කෙටුම්පත සහ යෝජිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කෙටුම්පත යන පනත් කෙටුම්පත් දෙක ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා නීතීන්ට අනුකූල නොවන බවට හැඟීයන බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරුන් තිදෙනෙකු පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් ආරක්ෂා කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ විශේෂ නියෝජිත අයිරීන් ඛාන්, සාමකාමීව රැස්වීම සහ කටයුතු කිරීමේ අයිතීන් ආරක්ෂා කිරීමේ විශේෂ නියෝජිත ක්ලෙමන්ට් වූල් සහ පෞද්ගලිකත්වයට ඇති අයිතිය පිළිබඳ විශේෂ නියෝජිත ආනා බ්‍රයන් යන තිදෙනා විසින් මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය විසින් ආරක්ෂා කරන පෞද්ගලිකත්වයට ඇති අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය හා සාමකාමීව රැස්වී කටයුතු කිරීමට ඇති අයිතිය මෙම යෝජිත කෙටුම්පත් දෙකෙන් උල්ලංඝණය වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ මෙම පනත් කෙටුම්පත් දෙකම ඉවත් කර ගැනීමට හෝ මහජන අදහස් විමසා නිසි ලෙස සමාලෝචනය කිරීමට පියවර ගත යුතු බවයි.