ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් අත්දැකීම අම්බුළුවාවට

ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය ලෙස සැලකෙන, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණ කේබල් කාර් ව්‍යාපෘතිය වෙනුවෙන් ගිවිසුමකට එළැඹි බව ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා.

ඒ අනුව මෙම ගිවිසුම ඩොලර් මිලියන 4.5 ක ආයෝජනයකින් යුක්ත බවයි ආයෝජන මණ්ඩලය සඳහන් කළේ.

Amber Adventure සමාගම සමඟ මෙය අත්සන් තබා ඇති අතර මේ සඳහා අවශ්‍ය තාක්ෂණික සහ නිෂ්පාදිත විශේෂඥ සහාය China Machine-Building International Corporation විසින් ලබාදීමට නියමිතයි.

6567079b4a8cf 6567079b3f9a7

රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍යයි – ජනපති

මෙරට ආර්ථිකයේ තිරසර භාවය වෙනුවෙන් රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

නව ආර්ථික ප්‍රතිපත්ති රාමුව තුළ සියළු දෙනා කැපවී වැඩ කිරීම තුළින් බිඳ නොවැටෙන ශක්තිමත් ආර්ථිකයක් කරා රට ඔසවා තැබිය හැකි බවයි ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක ප්‍රධාන දේශනය සිදු කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම පිළිබඳ පැහැදිළි කිරීමක්

ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව කඩිනමින් අවසන් වූ පසු ලැබෙන නියෝගය මත ගුරු සේවා ව්‍යවස්ථාව පරිදි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ගුරු සේවා ව්‍යවස්ථාව අනුව පුරප්පාඩු සඳහා විද්‍යා, ගණිත, විදේශ භාෂා උපාධිධාරීන් බදවා ගැනීමට පළාත් බලධාරීන් කටයුතු කරනු ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මේ තුලින් පුහුණුවන සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීමට බලපෑමක් නොවන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

වරාය නගරයේ මාර්ගෝපදේශ ඇතුළත් නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

කොළඹ වරාය නගරය තුළ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර – තීරු බදු රහිත ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

මීට අදාල මාර්ගෝපදේශ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6565b3cf6b679

සමාගම් දෙකක මත්පැන් නිෂ්පාදන කටයුතු තවදුරටත් අත්හිටුවයි

W.M. Mendis සමාගමේ සහ රන්දෙණිගල සමාගමේ මත්පැන් නිෂ්පාදන කටයුතු තවදුරටත් අත්හිටුවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙලෙස එම මත්පැන් සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ක්‍රිකට් නඩුව යළිත් දෙසැම්බර් 05 දක්වා කල් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සදහා අතුරු කමිටුවක් පත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය විසින් දෙසැම්බර් 05 වැනිදා දක්වා කල් තබා තිබෙනවා.

ඒ අනුව, එදිනට ඒ සම්බන්ධයෙන් සිය තත්ත්වය ඉදිරිපත් කරන ලෙස නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට අධිකරණය දැනුම්දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ක්‍රිකට් අතුරු කමිටුව පිහිටුවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ලබන නඩු වාරය තෙක් ක්‍රියාත්මක නොකරන බව නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු අධිකරණයට දැනුම්දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ප්‍රකට සූපවේදී Gary Mehigan ශ්‍රී ලංකාවට

ලෝක ප්‍රකට සූපවේදී , ඕස්ට්‍රේලියානු ජාතික ගැරී මිහිගන් (Gary Mehigan) ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සත්දින වැඩමුළු කීපයක් සඳහා ඔහු මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු ලෝකයේ ප්‍රචලිත සූපවේදීන් සඳහා වූ තරගාවලියක් වන Master Chef Australia තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

O/L ප්‍රතිඵල දින දෙකක් තුළ නිකුත් කිරීමට කටයුතු කරනවා – අධ්‍යාපන ඇමති

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.

ඒ අනුව 2024 වසරේ සාමාන්‍ය පෙළ විභාගය මැයි හෝ ජූනි මාසයේ පැවැත්වීමට සියල්ල සුදානම් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම සැලසුම් කළ පරිදි උසස් පෙළ විභාගය ජනවාරි මාසයේ ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

කොළඹ – මහනුවර පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක

කොන්දොස්තරවරයෙකුට පහරදීමේ සිද්ධියක් නිසා කොළඹ – මහනුවර පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ලං.ග.ම. බස් රථයක කොන්දොස්තරවරයෙකු විසින් මෙම පහරදීම සිදු කර ඇති බවත්, මහනුවර බෝගම්බර ප්‍රධාන බස්රථ නැවතුම්පළේ බස් ගමන් වාරයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාම මෙම සිද්ධියට මූලික වී ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.

ජනපති විසින් රොෂාන් රණසිංහ​ව ක්‍රීඩා ඇමති ධූරයෙන් ඉවත්කරයි

ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් සහ අනෙකුත් තනතුරුවලින් ඉවත් කිරීමේ ලිපිය අමාත්‍යවරයා වෙත යවා ඇති බවයි සඳහන් වන්නේ.