ලන්ච් ෂීට් තහනම් කිරීමට නිර්දේශ කරයි

සෙෳඛ්‍ය හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානි සලකා බලා “ලන්ච් ෂීට්” (Lunch Sheet) භාවිතය තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව පසුගියදා රැස්වූ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙම නිර්දේශය ලබාදී ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙහිදී ලන්ච් ෂිට් භාවිතය නිසා මෙරට සිදුවන පාරිසරික හානිය මෙන්ම ඒවායේ පවතින “තැලේට්” නම් පිළිකාකාරකය මිනිස් ජීවිතවලට එල්ල කරනු ලබන බලපෑම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ජා වී තිබෙනවා.

ඒ අනුව සෙෳඛ්‍යයට හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානි සලකා බලා, එය භාවිතයෙන් ඉවත් කිරීමට සහ විකල්ප හඳුන්වාදීමට මාස 6ක සහන කාලයක් ලබාදී ලන්ච් ෂීට් (Lunch Sheet) භාවිතය තහනම් කිරීමට අදාළ නිර්දේශය ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නීතියට අනුව ඉවත්කළ වීදි ආහාර අලෙවිසැල් වලට වෙනත් තැනක් ලබාදීමට මම බැඳී නැහැ – බන්දුල

මහාමාර්ග නීතිය යටතේ මාර්ගවල කඩ දැමීමේ හැකියාවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

තලවතුගොඩ කිඹුලාවල පිහිටි වීදි ආහාර (Street food) අලෙවිසැල් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වන විට එය ඉවත් කිරීමට අධිකරණය නියෝග කර ඇති බවයි.

ඔවුන්ට වෙනත් තැනක් ලබාදීමට තමන් බැඳී නොමැති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

හැටන් – කොළඹ මාර්ගය යථා තත්ත්වයට

නායයෑමක් හේතුවෙන් හැටන් – කොළඹ මාර්ගයේ තිබූ අවහිරතාව මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ගිනිගත්හේන සහ වටවල පොලිස් වසම් අතර දියගල ප්‍රදේශයේ 56/2 බෝක්කුව ආසන්නයේ නායයෑම හේතුවෙන් මාර්ගයේ වාහන ධාවනය අවහිර වී තිබුණා.

කැළණිය විශ්ව විද්‍යාලයේ පීඨ 03 ක් යළි සඳුදා විවෘත වෙයි

වසා දමා ඇති කැළණිය විශ්ව විද්‍යාලයේ පීඨ කිහිපයක් ලබන සඳුදා (11) යළි විවෘත කරන බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසනවා.

ඒ අනුව විද්‍යා පීඨය, පරිගණක තාක්ෂණ පීඨය, වාණිජ හා කළමනාකරණ පීඨය මෙලෙස ලබන සඳුදා දිනයේ විවෘත කරන බවයි සඳහන් වන්නේ.

සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු නිලධාරීන් දෙදෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් පසුගිය 5 වනදා වෛද්‍ය පීඨය හැර අනෙකුත් පීඨ වසා දැමීමට තීරණය කර තිබුණා.

කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුවා සහ දේවාල ගබඩාව භාර කපුවා අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

තම දරුවාගේ අපල වෙනුවෙන් භාරයක් ලෙස පාතාල නායක අංගොඩ ලොක්කා නමැති අයගේ බිරිඳ විසින් 2019 ජුලි 03 වැනි දින රුහුණු කතරගම මහා දේවාලයට පූජා කළ රත්‍රන් පවුම් 38ක් බරැති රත්තරන් තැටියක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම නියෝගය ලබාදී තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති අතර, ඒ අනුව ඊයේ (07) වන විට අදාළ නීතිපති උපදෙස් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලැබී තිබෙනවා.

සජිත් සාටකයක් පැළඳ පාර්ලිමේන්තු එයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලෝකයට, මැදපෙරදිගට සාමය ප්‍රාර්ථනා කිරීම සඳහා  සුදු සහ කළු පැහැති මෝස්තරයක් සහිත සාටකයක් පැළඳ අද (07) පාර්ලිමේන්තුවට පැමිණ තිබුණා.

ඒ අනුව එම සාටකය පළඳිමින් විපක්ෂ නායකවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට සහභාගී වූ බවයි සඳහන් වන්නේ.

දෙපැත්තේම සිවිල් ප්‍රජාව කේන්ද්‍ර කර ගත් ප්‍රහාර අප ප්‍රතික්ෂේප කරන බවත් මව්වුවරුන් දරුවන් සිවිල් පුරවැසියන් මිය යෑම ඝාතනය වීම සමූල ඝාතන සංහාර ප්‍රතික්ෂේප කරන අතර ලෝක සාමය ආරක්ෂාව වෙනුවෙන් සැමවිටම පෙනී සිටින බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දීය ධීවරයන් 21 දෙනෙකු නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ලෙස මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රා 04ක් සහ ඉන්දීය ධීවරයන් 21 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (06) සිදු කරන ලද මෙහෙයුමකින් යාත්‍රා සහ ධීවරයන් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා හතර සහ එහි සිටි ඉන්දීය ධීවරයන් විසි එක් දෙනා තලෙයිමන්නාරම ජැටිය සහ කන්කසන්තුරය වරාය වෙත රැගෙන ගොස් ඇති තිබෙනවා.

ඒ අනුව ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාර දීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයන්ට ලක්‍ෂ 160 ප්‍රදානය කිරීම ආරම්භ කෙරේ

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවවලියේදී කොළඹ ආර්. ප්‍රේමදාස සහ මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සේවකයන් කළ කැපවීම අගයමින් ප්‍රදානය කළ ඇමරිකානු ඩොලර් 50,000 ක මුදල සේවකයින්ට බෙදාදීම සිදුකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවකයන් 138 ක් සහ පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සේවකයන් 115 ක් ඇතුළු සමස්ත සේවකයන් 253 කට මුදල් ත්‍යාගය හිමිවන බවයි සඳහන් වන්නේ.

ඇමරිකානු ඩොලර් 50,000 ක මුදල ශ්‍රී ලංකා මුදලින් වටිනාකම රුපියල් ලක්ෂ 160 ක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

65714baf22d58

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණිකවේදීන් අපේක්ෂා රෝහලේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත්

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණිකවේදීන් මහරගම අපේක්ෂා රෝහලේ අමතර සේවා මුරවලින් ඉවත්වී ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (07) දිනයේත් ක්‍රියාත්මක වනවා.

අමතර සේවාවල ගෙවීම් කප්පාදු වන ආකාරයේ ලිපියක් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කර ඇති බවත් එයට විරෝධය දක්වමින් මෙය ක්‍රියාත්මක කරන බවයි එහි ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා සඳහන් කළේ.

අවුරුදු 23 කට ආසන්න කාලයකින් අමතර සේවා ගාස්තු වැඩි කිරීමක් සිදු කර නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

වඩිවේල් සුරේෂ්ට ජනාධිපති උපදේශක තනතුරක්

උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලාංකේය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත්වීම ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.