නෙළුම් කුලුනේ පළමු කැරකෙන අවන්හල දෙසැම්බර් 09 වැනිදා විවෘත වෙයි

කොළඹ නෙළුම් කුලුනේ පළමු කැරකෙන අවන්හල දෙසැම්බර් 09වැනිදා විවෘත වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙම අවන්හල තුළ එක් වරකදී 225ත් – 250ත් අතර පිරිසකට රැඳී සිටීමේ හැකියාව පවතින බවයි සඳහන් වන්නේ.

ලබන 9 වනදා රාත්‍රී 7.30ට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම සඳහන් කළේ.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 14 වන දිනය අද

අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද (07) 14 වන දිනටත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

අද දිනයේ විදේශ කටයුතු හා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

බදු ආදායම ඉහළ නංවා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සක්‍රීයව දායක විය යුතුයි – මහින්දානන්ද

බදු ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සක්‍රීයව දායක විය යුතු බව ජ‍ාතික ආර්ථික සහ භෞතික සැලසුම් කමිටුවේ සභාපති මහින්දානන්ද අළුත්ගමගේ ඇමතිවරයා පවසා සිටිනවා.

මෙම වසර තුල රුපියල් බිලියනයකට වැඩි ආනයනයන් සිදුකල පුද්ගලයන් 712 දෙනෙක් අතරින් 15% ප්‍රමාණයක් නිසි පරිදි ආදායම් බදු ගෙවා නොමැති බව එම කමිටුවේදී හෙළිවුණා.

එසේම සමහර වී මෝල් හිමියන්ගේ රාජ්‍ය බැංකුවල ඇති ගිණුම්වලට රුපියල් බිලියන 100 ක පමණ මුදල් බැරවී ඇති බවත්, නමුත් සත පහක් හෝ බදු ගෙවා නැති බවත් කමිටු සභාපතිවරයා පවසා සිටියා.

ආදායම් බදු ලිපිගොනු ප්‍රමාණය 2022 ට සාපේක්ෂව 2023 දී අඩුවීම ගැනද, ඉඩම් විකිණීමෙන් රජයට එකතු කරගත හැකි බදු ප්‍රමාණය ගැනද, එමෙන්ම ප්‍රාග්ධන ලාභ බද්ද හා සුරාබදු අයකර ගැනීම ගැනද ඇමතිවරයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අවධානය යොමු කළා.

ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600 ක්

ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිත බව Reuters පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූලය අරමුදලේ දෙවන වාරිකය ලැබුණු පසුව කොටස් වශයෙන් මෙය ලැබීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

තිදෙනෙකුට දිවි අහිමි කළ බස් රථ රියදුරෙක්ට වසර 12 ක සිර දඬුවමක්

තිදෙනෙකුට දිවි අහිමි කළ රිය අනතුරක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ රියදුරෙකුට බරපතළ වැඩ සහිත වසර 12ක සිරදඬුවම් නියම කළ අධිකරණය එහි හිමිකරුට අත්හිටවූ සිරදඬුවමක් නියම කර තිබෙනවා.

ඒ අනුව 2007 වර්ෂයේ ජනවාරි මස 10 වනදා මිරිහාන ප්‍රදේශයේදී සිදුවූ රින අනතුරකට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

එසේම විත්තිකරුට රුපියල් 18,000ක දඩයක් ද නියම කර ඇති අතර මරණයට පත්වූ මගීන් දෙදෙනෙකුගේ සමීප ඥාතීන් දෙදෙනෙකුට රුපියල් 150,000ක වන්දියක් ගෙවන ලෙසද විත්තිකරුට නියෝග කර තිබෙනවා.

මේ අතර අධිකරණය වැඩිදුරටත් නියෝග කළේ පැමිණිල්ලක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙසද විත්තිකරුට නියෝග කර ඇති බවයි.

මෙම දඩ හා වන්දි මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් ඔහුට අමතර මාස 54ක සිරදඬුවමක් ද අධිකරණය විසින් නියම කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

විදුලි බිල අඩුකිරීමට යෝජනා මේ මාසය තු​ළ ලබාදෙන්න – PUCSL

විදුලි බිල අඩුකිරීම හා සම්බන්ධ යෝජනා මේ මාසය ඇතුළත ලබාදෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබාදී තිබෙනවා.

එසේ ලබාදෙන යෝජනා සලකා බලා ලබන ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදුකිරීමට නිර්දේශ ලබාදෙන බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ.

එසේම විදුලි බල මණ්ඩලයේ ආදායම සහ විදුලි උත්පාදනය සම්බන්ධයෙන් ස්වාධීන විගණනයක් පවත්වන ලෙසද මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරියට දැනුම් දී තිබෙනවා.

පිරිවැය පියවීම සම්බන්ධයෙන් අවස්ථා කීපයකදී ඉදිරිපත් කළ දත්ත පරස්පර විරෝධී වීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි කොමිසම සඳහන් කළේ.

ආදායම හා විදුලි උත්පාදනය පිළිබඳ පරීක්ෂණය සිදුකරන්නේ කුමන පාර්ශවයක් දැයි මේ මාස‍ය අවසන් වීමට පෙර දන්වන ලෙස විදුලි බල මණ්ඩලයට දැනුම් දුන් බවද මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.

නුවරඑළිය තැපැල් කාර්යාලය ආයෝජන ව්‍යාපෘතියකට භාවිතා කිරීමට අනුමැතිය

ආයෝජන ව්‍යාපෘතියක් සඳහා නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල භාවිතා කිරීමට අනුමැතිය ලබාදුන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය මගින් එහි සංවර්ධන කටයුතු සිදුකෙරෙන බවයි සඳහන් වන්නේ.

තැපැල් දෙපාර්තමේන්තුව විසින් අදාළ ගොඩනැගිල්ල භාරදීමට එකඟතාවය පළ කර ඇති බවත්, තැපැල් කාර්යාලය පවත්වා ගෙන යෑමට විකල්ප ස්ථානයක් ලබාදීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර පවසා සිටියා.

උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී ගමනාගමනයට බාධා

ඔහිය හා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස්වරු 03.55 ට පමණ පස් කඳු කොටසක් කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

රතු බිල්පත් නිකුත් කිරීම ගැන විදුලි බල මණ්ඩලයෙන් පැහැදිළි කිරීමක්

විදුලිය පාරිභෝජනය කර මාසයක් ඉක්මගිය පසු විදුලි බිල ගෙවිය යුතු අතර බහුතර පාරිභෝගිකයන් සංඛ්‍යාවක් නියමිත වේලාවට විදුලි බිල්පත් ගෙවනු ලබන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව සාමාන්‍යයෙන් රතු බිලක් ලබා දෙන්නේ මාසයක් ගතවු පසුව බවත් ඊට අමතරව රතු බිල්පත් නිකුත් කර තවත් දින 10ක සහන කාලයක් ලබාදීමෙන් අනතුරුව විදුලිය විසන්ධි කිරීම සිදුකරන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.

විදුලිය විසන්ධි කළ පිරිස සහ යළි සම්බන්ධතාව ලබාදුන් පිරිස සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක්ද විදුලි බල මණ්ඩලය නිකුත් කර තිබෙනවා.

එම වාර්තාව අනුව 2019 වසරේ 573,073ක් විදුලිය විසන්ධිකර නැවත සම්බන්ධ කර ඇති බවත් 2023 වසරේ ඔක්තෝබර් මාසය දක්වා  544,488 කගේ විදුලිය විසන්ධි කර යළි සබඳතා ලබාදී ඇති බවද සඳහන්.

ලංකා විදුලිබල මණ්ඩලය හඳුන්වාදුන්  ඊ බිල් (e-bill) පත් ක්‍රමවේදය අනුව රතු බිල්පත් නිකුත් කිරීම ක්‍රම ක්‍රමයෙන් අඩු කරමින් පවතින බව ද පෙන්වා දී ඇති එම මණ්ඩලය ඒ වෙනුවට ඉතා ඉක්මනින් හිඟ මුදල SMS මඟින් පාරිභෝගිකයන් වෙත දැනුම් දෙන බවත් එමඟින් ඉතා කාර්යක්ෂමව ගෙවිය යුතු හිඟ මුදල දැනුම් දෙනු ලබන අතර ම ක්‍රමවේදය රතු බිල්පත් මුද්‍රණය කර බෙදා හැරීමට වඩා කාර්යක්ෂම සහ ලාභදායි බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

657043681ed29pdf_page_0

ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු පාලනයට විශේෂ වැඩසටහනක්

වැසි සමයත් සමඟ මේ වන විට ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් සිදු වෙමින් පවතින අතර මෙම තත්ත්වය පාලනය කිරිම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සමඟ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

කොළඹ, ගම්පහ, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි ඩෙංගු රෝගීන්ගේ වැඩි වර්ධනයක් සිදුව ඇති බව ද මෙහිදී අනාවරණය කෙරුණු අතර රාජ්‍ය ආයතන, බෝට්ටු අංගන, පාසල්, ඇතුළු පොදු ස්ථානවල වාහක අභිජනනය වැඩි වී ඇති බව නිරීක්ෂණය වී ඇති බවද සඳහන්වී තිබෙනවා.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ ද සහය ඇතිව කඩිනම් ක්‍රියාමාර්ගවලට එළැඹෙන ලෙස සාගල රත්නායක මහතා ශ්‍රී ලංකා පොලීසිය වෙත උපදෙස් දුන් අතර රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ රාජ්‍ය ආයතන දැනුවත් කරමින් ජනාධිපති කාර්යාලය මඟින් ලිපියක් නිකුත් කිරීමට ද මෙහිදී තීරණය ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

65703f37bbacapdf_page_0