අධික වර්ෂාව සමග ඩෙංගු ව්‍යාප්තියේ වැඩිවීමක්

පවතින අධික වර්ෂා තත්ත්වය සමග රටපුරාම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 80,222 ක් වාර්තා වන අතර, ඉන් අඩක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්.

එසේම වසරේ මේ දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 47 ක් ලෙස දැක්වෙනවා.

වාර්තා වූ සමස්ත රෝගීන්ගෙන් 46.4% ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,948 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,419 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,849 ක් හඳුනාගෙන තිබෙනවා.

මේ වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 61 ක් ඩෙංගු අධි අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

වාහන නඩුවෙන් තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස්

වාහනයක් සම්බන්ධ ගනුදෙනුවකදී රුපියල් ලක්ෂ 80 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටි තිළිණි ප්‍රියමාලි එම චෝදනාවලින් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඊයේ නියෝග කළා.

පැමිණිල්ල මෙහෙයවන රජයේ අධිනීතිඥවරයා මෙන්ම විත්තියේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුව මෙම චෝදනා පත්‍රයේ චෝදනා ගොනුකර තිබෙන ආකාරය අනුව අදාළ චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව අධිකරණය හමුවේ කරුණු අනාවරණය වූ අතර, එයින් පසු විත්තිකාරිය මෙම නඩුවෙන් නිදහස් කිරීමට විනිසුරුවරයා තීන්දු කළා.

2010 වසරේ පැමිණිලිකරුට අයත් රුපියල් ලක්ෂ 80 ක් වටිනා වාහනයක් ලබාගෙන, මුදල් නොමැති ගිණුමකින් අගරු චෙක්පත් ලබාදී, එම මුදල සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින්, විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

ලිපි ලක්ෂ 10 ක් තැපැල් වර්ජනයෙන් ග‍ොඩගැසේ

පවතින තැපැල් වර්ජනය හේතුවෙන් ලිපි ලක්ෂ 10 ක් පමණ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ දිවයිනේ අනෙකුත් තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා.

ලිපි බෙදාහැරීම අඩාල වී ඇති බවත්, මධ්‍යම තැපැල් හුවමාරුවේ සිට කිසිදු තැපැල් භාණ්ඩයක් ප්‍රවාහනය කිරීමට නොහැකි වී ඇති බවත් එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසා සිටිනවා.

ඊයේ සිට තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල සියල්ලම මහජන සේවා පැවැත්වීමක් සිදු නොකළ බවත්, වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රිය තෙක් ක්‍රියාත්මක බවත්, අද මධ්‍යම රාත්‍රී 12න් පසු සුපුරුදු පරිදි තැපැල් කටයුතු ආරම්භ කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

මේ දක්වා දේශපාලන අධිකාරිය හෝ තැපෑලේ කළමනාකාරීත්වය සමග කිසිදු අදහස් හුවමාරුවක් සිදු නොවූ බවද, පවතින ගැටළු එලෙසින්ම පවතින බවද, මෙයට ස්ථිරසාර විසඳුම් ලබාගැනීම සඳහා ඉදිරියේදී දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කරන්නේ.

VAT බදු ලියාපදිංචි සීමාව රුපියල් මිලියන 80 සිට 60 දක්වා අඩු කිරීමට අනුමැතිය

2024 ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු හෙවත් වැට් සඳහා ලියාපදිංචි සීමාව වසරකට බදු අයකළ හැකි සැපයුම්වල සමස්ත වටිනාකම රුපියල් මිලියන 80 සිට 60 දක්වා පහත දැමීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව මේ සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

එය රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා ගෙන ආ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කිලිනොච්චි පූනකරි වැවේ සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය

ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා ගෲප් සමාගම ඉදිකිරීමට නියමිත මෙගාවොට් 700කින් සමන්විත සූර්ය බලශක්ති ව්‍යාපෘතියෙන් විදුලිය මිල දී ගැනීම සඳහා ගිවිසුම් ගතවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එහිදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,727ක සමස්ත ආයෝජනයක් සහිතව සහ 100% ක සෘජු විදේශ ආයෝජනයක් වශයෙන් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබුණු අතර, ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් දේශීය ව්‍යාපෘති සංරචක සඳහා යෙදවීමට වෙන් කිරීමට යෝජනා වී තිබූ බවයි සඳහන් වන්නේ.

අදාළ ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර X සටහනක් තබමින් සඳහන් කළ‍ා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

65780d4995a78

නිල්වලා ගඟ අවට පහත් බිම්වල ජනතාවට නැවත අනතුරු ඇඟවීම්

නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා නිල්වලා ද්‍රෝණිය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල ජනතාවට ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

නිල්වලා ගංඟා ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රදේශ ආශ්‍රිතව මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇති බවද, නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම්වල වෙසෙන ජනතාව තවදුරටත් දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

VAT සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (11) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 98 ක් හා විපක්ෂව ඡන්ද 41 ක් හිමි වූ බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ.

කල් දැමූ VAT සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඇරඹේ

කල් දැමූ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත විවාදය අද (11) නැවතත් ආරම්භ කර තිබෙනවා.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත විවාදය ඊයේ (10) ආරම්භ කළ අතර ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුව යළිත් අද දිනය දක්වා කල් දැමීමට කටයුතු කළා.

VAT බදු පනතට ඡන්දය දෙන්න මම එන්නේ නැහැ – නාමල්

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතට ඡන්දය ලබාදීමට තමා නොපැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව අසීමිතව වැට් බද්ද වැඩි කිරීමට විරෝධය පළ කරමින් තමන් මෙම තීරණය ගත් බවත් මේ සම්බන්ධයෙන් පක්ෂය ද දැනුවත් කර ඇති බවයි අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එම පනතට විරුද්ධව ඡන්දය ලබාදීම පක්ෂයක් ලෙස මෙතෙක් තීරණය කර නොමැති බවත්, සවස් වරුවේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

රු. 20,000කින් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා රාජ්‍ය සේවකයින් හෙට වැඩ වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රාජ්‍ය සේවකයින් හෙට (12) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වන බව රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

ඒ අනුව  එහි සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි සඳහන් කළේ, තවත් වෘත්තීය සමිති කිහිපයක සහභාගීත්වයෙන් දිවයින පුරා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවයි.

රුපියල් 20,000 ක වැටුප් වැඩි කරන ලෙස ඔවුන් ඉල්ලා සිටින අතර විසඳුමකින් තොරව සිය ක්‍රියාමාර්ග අත්නොහරින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.