බදු වංචා කරන අයට අනුකම්පා නොකර වහා අයකර ගන්න – පාඨලී

තිරිඟු පිටි හා සීනි ආනයනයේදී අනිසි ලාභ උපයාගත් පාර්ශවයන්ගෙන් නියමිත බදු අයකර ගැනීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නා.

බිලියන 173 ක් බදු එකතු කරගත හැකිව පවතින බවත්, එය අයකර ගැනීමට ලියුම් යැවීමෙන් පලක් නොවන බවත්, හිඟ බදු අයකර ගැනීමේ ක්‍රමවේදයක් දෙසැම්බර් 31 ට පෙර වහාම සකසා ගන්නා ලෙසයි එහිදී ඔහු එහිදී පවසා සිටියේ.

විශාල බදු ප්‍රමාණයක් අයකර ගැනීමෙන් මිනිසුන් අපහසුතාවයට පත්ව ඇති බවද, බදු නොගෙවන අයට අනුකම්පා නොකර අදාළ කටයුතු වහාම ඉටු කරන ලෙසයි එහිදී ඔහු වැඩිදුරටත් උපදෙස් ලබාදුන්නේ.

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් හෙට සංකේත වර්ජනයක

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් හෙට (14) එක්දින සංකේත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව හෙට පෙරවරු 8.00 සිට එම වර්ජනය ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළා.

අත්අඩංගුවට ගත් චීවරධාරියා දෙසැම්බර් 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

විශ්ව බුද්ධ නමින් හඳුන්වාගනිමින් බුදුදහමට අපහාස වන අයුරින් සමාජ මාධ්‍යයේ හැසිරුණු චීවරධාරියාව එළඹෙන 19 වනදා දක්වා රිමාන්ඩ් බන්ධානාගාරගතකර තිබෙනවා.

ඒ අනුව සැකකාර චීවරධාරියා අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකට අනුව සැකකාර චීවරධාරියා ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබුණා.

රනිල් වැල් පාලමෙන් එගොඩ කළේ මහින්දවයි, බැසිල්වයි, ගෝඨාවයි, නාමල්වයි – විපක්ෂ නායක

ජනාධිපතිවරයා වැල් පාලමෙන් එගොඩ කළේ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා නාමල් රාජපක්ෂව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබුණු බවට ආණ්ඩුව විශාල ප්‍රමාණයෙන් කතා කලද දෙවැනි වාරිකය ලබාගත්තේ විදුලිය සහ වැට් බදු වැඩි කර ජනතාව පීඩනයට පත් කරමින් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

රජය විවිධ ප්‍රකාශ කරමින් වැට් සහ විදුලිය වැඩි කරමින් ජනතාව මරණ මංචකයට ගෙන යමින් රට බංකොළොත් කෙරූ පිරිස දිව්‍ය ලෝකයට රැගෙන යමින් ඇති බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

මම අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා – රොෂාන් රණසිංහ

අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරන බව, හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසනවා.

අද (13) පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළේ, තමන් මීට පෙර සිතාගෙන සිටියේ ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීමට බවයි.

රජය කටයුතු කරන ආකාරයෙන් තමා අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

IMF නියෝජිතයින් යළි මාර්තු සහ අප්‍රේල් අතර දිවයිනට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ණය සම්බන්ධ දෙවන සමාලෝචනය සඳහා එම අරමුදලේ නියෝජිත කණ්ඩායම ලබන වසරේ මාර්තු අප්‍රේල් අතර කාලයේ දී මෙරටට පැමිණෙන බව මුල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් පවසනවා.

ඒ අනුව පුරෝකථනය කරන ආකාරයට ලබන වසරේදී ධනාත්මක ආර්ථික වර්ධනයක් දැක ගැනීමට හැකි වනු ඇති බවත් 1.8% ක ධනාත්මක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කළේ.

දෙවැනි සමාලෝචනය සිදුකරන කාලය වන විට වාණිජ ණය හිමියන් සමඟ නිල ගිවිසුම්වලට එළැඹ තිබෙනු ඇති බවට බලාපොරොත්තු වන බවත් ලබන වසරේ මුල් භාගය අවසානයේදී දෙවැනි සමාලෝචනය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි පීටර් බෲවර් වැඩිදුරටත් සඳහන් කළේ.

VAT බදු සංශෝධනයත් සමඟ සෑම නිෂ්පාදිත භාණ්ඩයකම මිල 50% කින් 60% කින් පමණ වැඩි වේවි – ව්‍යාපාරිකයින්

වැට් බදු සංශෝධනයත් සමඟ සෑම නිෂ්පාදිත භාණ්ඩයකම මිල 50% කින් 60% කින් පමණ වැඩිවීමක් සිදුවනු ඇති බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදය පවසනවා.

ඒ අනුව එහි සභාපති ටානියා අබේසුන්දර සඳහන් කළේ, බදු අය කර ගැනීමට නම් රජය කළ යුත්තේ ව්‍යාපාරිකයින්ටද සහයෝගය ලබාදීම බවයි.

නමුත් රජය ව්‍යාපාරිකයින්ගෙන් බදු පමණක් ලබා ගැනීමට උත්සාහ කරන්නේ නම් එලෙස ලබාදෙන්නේ කෙසේද යන ගැටලුව පවතින බවත් රට තුළ නිෂ්පාදනය කර පාරිභෝගිකයින්ට තරගකාරී මිලකට භාණ්ඩ ලබාදීම පිළිබඳවද ගැටලුවකට මුහුණ දෙන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

VAT සංශෝධනය සමඟ පෙට්‍රල් හා ඩීසල් 18% කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වේවි – ධනනාත් ප්‍රනාන්දු

වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ ජනවාරි 1 වනදා සිට භාණ්ඩ හා සේවා රැසක මිල ගණන් ඉහළ යන බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව මෙතෙක් වැට් බද්ද අදාළ නොවූ නමුත් අලුතින් පනවන ලද භාණ්ඩ හා සේවාවල මිල 18% කින් පමණ ඉහළ යනු ඇති බවත්, වැට් බද්ද පැවතුන භාණ්ඩ හා සේවා මිල දල වශයෙන් 3% කින් පමණ වැඩි වනු ඇති බවයි අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ජනවාරි 1 වනදා සිට පෙට්‍රල් හා ඩීසල් මිලද සාපේක්ෂව 18% කට ආසන්න ප්‍රමාණයකින් වැඩිවීමට නියමිත බවත්, භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමත් සමඟ ආර්ථිකය හැකිලීමට හැකියාවක් ඇති බවද ඔහු සඳහන් කළා.

බිත්තරයක මිල රුපියල් 62 දක්වා ඉහළ යයි

වෙළඳපොළ තුළ බිත්තරයක මිල රුපියල් 62 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළඳුන් පවසනවා.

බිත්තර ඉල්ලුම ඉහළ යාම සහ සතුන් ඇති කිරීම නැවැත්වීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

එසේම පිටරටින් බිත්තර ආනයනය නැවැත්වීමද මෙලෙස බිත්තර මිල ඉහළ යාමට හේතුවී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

රත්මලාන දුම්රිය ඩීසල් බලවේග කට්ටල කර්මාන්ත ශාලාව ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව චීන සමාගමකට

ආසියානු සංවර්ධන බැංකු අරමුදල් මඟින් ක්‍රියාත්මක වන දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රත්මලාන දුම්රිය ඩීසල් බලවේග කට්ටල කර්මාන්ත ශාලාව සැලසුම් කර ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවා තිබෙනවා.

ඒ අනුව ලංසු 09 ක් ඉදිරිපත් වී ඇති අතර ලංසු 02 ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඉතිරි ලංසු 07 ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම මිල ගණන් ඉදිරිපත් කර ඇති චයිනා සිවිල් ඉංජිනියරින් කන්ස්ට්‍රක්ෂන් සමාගම වෙත එකී කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.