අයවැයෙන් ධීවරයෙකුට වෙන්කර ඇත්​තේ රුපියල් 5යි, හිටපු ජනපතිවරුන්​ට කෝටි 11යි – විජිත හේරත්

අයවැයෙන් 2024 සඳහා එක් ධීවරයෙක් වෙනුවෙන් වෙන් කර ඇත්තේ රුපියල් 5/- ක් පමණක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

නමුත් හිටපු ජනාධිපතිවරුන් හතර දෙනා නඩත්තු කිරීම සඳහා රුපියල් කෝටි 11 ක් වෙන් වෙන්කර තිබෙන බවයි අද (11) අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙය සාධාරණ හෝ යුක්ති සහගත නොවන බවත්, මෙවැනි ක්‍රියා මඟින් ධීවර කර්මාන්තය නගා සිටුවිමට නොහැකි බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගොඩනැගිල්ලක ගින්නක්

අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් මෙත්සිරි සෙවණ ගොඩනැගිලි පරිශ්‍රයේ ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ අනුව ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට අනුරාධපුර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යොදවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ගින්න ඇතිවීමත් සමග එම ගොඩනැගිලි පරිශ්‍රයේ සිටි නේවාසික රෝගීන් ඉන් ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා.

අස්වැසුම දෙවන අදියරට අයදුම්පත් කැඳවීම ජනවාරි මාසයේදී

අස්වැසුම දෙවැනි අදියර සඳහා ලබන ජනවාරි මාසයේදී අයදුම්පත් කැඳවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඊට පෙර පළමු අදියර පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

පළමු අදියර ක්‍රියාත්මක කිරීමේ දී ඇති වූ ගැටළු ද, විවිධ පාර්ශ්ව වෙතින් ඉදිරිපත් වූ යෝජනා ද මෙම සමාලෝචනයේදී සැලකිල්ලට ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටිනවා.

පොලිස් මහජන සහන දිනය නැවත ආරම්භ කෙරේ

තාවකාලිකව අත්හිටුවා තිබූ පොලිස් මහජන සහන දිනය නැවත ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර තිබෙනවා.

මෙය කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබුණු අතර, ලබන 15 වැනිදා සිට නැවත ආරම්භ වනවා.

‍රජයේ නිවාඩු හැර සෑම සිකුරාදා දිනකම පෙරවරු 9.00 සිට මහජන සහන දිනය පැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.

දිවයිනේ පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශයන් වෙත මහජනතාව විසින් ඉදිරිපත් කරනු ලබන පැමිණිලි අතරින් ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වු පැමිණිලි සෘජුවම වැඩබලන පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කිරීමට මෙහිදී අවස්ථාව හිමිවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ගුවන් මගියෙකු නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබූ රුපියල් විසි දෙලක්ෂ අසූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු ගම්පොළ, පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි, නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන ව්‍යාපාරිකයෙක් බවට හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මොහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ “මැන්චෙස්ටර්” වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 22,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 114 ක් සඟවා ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

බිත්තර මිල යළිත් ඉහළට

වෙළඳපොළේ බිත්තර මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව තොග වෙළඳුන් විසින් බිත්තර තොග සැඟවීම බිත්තර මිල ඉහළ යාමට හේතුවී ඇතැයි ශ්‍රි ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරන්නේ.

ඇතැම් තොග වෙළදුන් බිත්තර අළෙවි කරන්නේ රුපියල් 50 ඉක්මවු මිලකට වුවද ගොවිපළ තුළ බිත්තර අළෙවි වන්නේ රුපියල් 40ත් 42ත් අතර මිලකට බවයි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ.

බිත්තර වැඩි මිලට අළෙවි කරන කූඨ වෙළඳුන්ගෙන් බිත්තර මිලදී නොගැනීමට පාරිභෝගිකයින් වගබලා ගතයුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

බදුල්ල කොළඹ මාර්ගයේ කොටසක් බර වාහන ධාවනය සඳහා වැසෙයි

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බදුල්ල කොළඹ මාර්ගයේ කොටසක් බර වාහන ධාවනය සඳහා වසා දැමීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව එම මාර්ගයේ ධාවනය වන බර වාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස ඇටම්පිටිය මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිත කළ හැකි බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (09) දිනයේ හාලිඇළ උඩුවර ප්‍රදේශයේ සිදුවූ නායයෑමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකියි – ලදුදෙ

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි  බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ගෙලිඔය සහ ගම්පොල සහ දෙමෝදර සහ හාලිඇල අතර පස්කඳු කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම කොළඹ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියන්ද අවලංගු වීමක් සිදු නොවන අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය වන වේලාවට වෙනත් දුම්රියක් ද , බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අද දින ඇල්ල දුම්රිය ස්ථානයෙන් වෙනත් බලවේග කට්ටියක් ද එම වේලාවන් වලට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැක  බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ගෙලිඔය සහ ගම්පොල සහ මෝදර සහ හාලිඇල අතර පස්කඳු කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක් හෙට යළි විවෘත වෙයි

කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා ඇති පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු හෙට (11) දිනයේ සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව විද්‍යා, පරිගණක තාක්ෂණ, වාණිජ හා කළමනාකරණ පීඨ යළි විවෘත කිරීමට සැලසුම් කර ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා සඳහන් කළේ.

එමෙන්ම සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨ ලබන 18 වනදා සිට යළි විවෘත කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.