ආනයනික බිත්තර මිලියන 15 ක් ලබන සඳුදා ලංකාවට

තවත් ආනයනික බිත්තර මිලියන 15 ක් ඇණවුම් කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කරනවා.

ඒ අනුව, ලබන සඳුදා එම බිත්තර තොගය ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා.

එසේම ආනයනය කරන ලද තවත් බිත්තර මිලියන 10 කට අදාළ වාර්තා ලබන සෙනසුරාදා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලැබීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

නොරොච්චෝලේ ඉතිරි ජනන යන්ත්‍ර දෙකත් මේ මාසයේ ජාතික පද්ධතියට

නොරොච්චෝලේ බලාගාරයේ පළවන හා දෙවන ජනන යන්ත්‍ර දෙක මේ මාසය ඇතුළත ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත පවසනවා.

තුන්වෙනි ජනන යන්ත්‍රය මේ වනවිටත් ජාතික පද්ධතියට එක් කර ඇති බවයි ඔහු පවසා සිටියේ.

රට පුරා විදුලිය විසන්ධි වීමත් සමග නොරොච්චෝලේ බලාගාරයේ පළවන ජනන යන්ත්‍රය අක්‍රිය වූ අතර, නොරොච්චෝලේ දෙවැනි ජනන යන්ත්‍රය ද මේ වනවිට අක්‍රීයව පවතිනවා.

දෙසැම්බර් පළමු දින 10 ට සංචාරකයන් 57,000 ක්

දෙසැම්බර් මාසයේ ගතවුනු පළමු දින 10 තුළ පමණක් සංචාරකයින් 57,394 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මෙයින් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් අතර, එම සංඛ්‍යාව 11,442 ක් වනවා.

රුසියාවෙන් 8,004 ක්,  බ්‍රිතාන්‍යයෙන් 5,991 ක්, ජර්මනියෙන් 5,336 ක්, චීනයෙන් 2,894 ක් යන ලෙස දෙසැම්බර් මාසයේ පළමු දින 10 තුළ සංචාරකයන් දිවයිනට පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සමස්ථයක් ලෙස ගත් විට, 2023 වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින් දහතුන් ලක්ෂ තිස් හතර දහස් තුන්සිය හතළිස් පස් දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ගොනුකල පෙත්සම් යළි විභාග කෙරේ

නියමිත දිනයට පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගොනුකල පෙත්සම් ඊයේ (13) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ යළිත් විභාගයට ගැනුණා.

මේ වෙනුවෙන් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මුලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ගොනුකර තිබුණා.

වගඋත්තරකරුවකු ලෙස මුදල් අමාත්‍යවරයා නම්කර තිබුණත් ඔහු ඊට  අදාලව විරෝධතා ගොනු නොකිරීම ගැටලු සහගත බවත්, එම විරෝධතා ගොනු කිරීම සඳහා ඔහුට වගකීමක් තිබෙන බවටත් පැෆරල් සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අස්ථික දේවේන්ද්‍ර කරුණු ඉදිරිපත් කළා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ගොනුකර තිබෙන විරෝධතාවල මැතිවරණය පැවැත්වීම සඳහා  මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමට තරම් ප්‍රමාණවත් මුදල් නොමැති බව මුදල් අමාත්‍යවරයා දැනුම් දී ඇතැයි ප්‍රකාශ කර තිබු බවත්, මුදල් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය ද දැනුවත් කර තිබෙන බව පවසා ඇති බවයි නීතිඥවරයා පවසා සිටියේ.

අධිවේගයේ කොක්මාදූව හුවමාරුවෙන් පිටවන රියැදුරන්ට දැනුම් දීමක්

කොක්මාදුව හුවමාරුවෙන් පිටවී කනංකේ දෙසට ගමන් කළ නොහැකි මට්ටමට තවදුරටත් ගංවතුර තත්ත්වයක් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

පවතින අධික වැසි තත්ත්වයත් සමග ජලයෙන් යටවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ සිට ගමන් ගන්නා රථවාහන පාලටුව අන්තර් හුවමාරුවෙන් ද මත්තල සිට පැමිණෙන රථවාහන ගොඩගම හුවමාරුවෙන් ද පිටවීමට කටයුතු කරන ලෙසයි සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍ය වර්ජනය අවසන්

කොළඹ අක්ෂි රෝහලේ සංකේත වැඩ වර්ජනය අවසන් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සංකේත වැඩ වර්ජනය අවසන් කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනය කරන්නේ.

අද (14) උදෑසන 08.00 ට කොළඹ අක්ෂි රෝහලේ සංකේත වැඩ වර්ජනයක් ආරම්භ වීමට නියමිත බවට නිවේදනය කර තිබුණා.

ආගමික වැරදි විමර්ශනයට පොලීසියේ වෙනම ඒකකයක්

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකෙරෙන ආගමික වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

ඒ අනුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් අනුව මෙම ඒකකය ස්ථාපිත කර ඇති බවයි සඳහන් වන්නේ.

වැඩබලන පොලිස්පතිවරයා විසින් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුකරන ආගමික වැරදි සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීමට වෙනමම ඒකකයක් ස්ථාපිත කිරීමට උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධ පැමිණිලි මහජනතාවට 0112 300 637 අංකය ඔස්සේ දැනුම්දීමේ හැකියාව ඇති අතර ccid.religious@police.gov.lk විද්‍යුත් ලිපිනය මඟින්ද යොමු කිරීමේ හැකියාව පවතිනවා.

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අද සංකේත වර්ජනයක

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අද (14) එක්දින සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අද පෙරවරු 8.00 සිට එම වර්ජනය ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

පාර්ලිමේන්තුව ජනවාරි 9 වනදා දක්වා කල් තබයි

අයවැය තෙවන වර ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව යළිත් ජනවාරි 9 වන දින දක්වා කල් තබා තිබෙනවා.

ඒ අනුව 2024 වසරේ ජනවාරි 9 වනදා යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

2024 අයවැය තෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

2024  අයවැය තෙවනවර කියවීම අද (13) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඒ අනුව අයවැය තෙවන වර කියවීමට පක්ෂව ඡන්ද 122 ක් හා විපක්ෂව ඡන්ද 81 ක් හිමි වුණා.

6579b049aecfd

6579b04a98b70 6579b04a269b2