පොහොට්ටුවේ නායකත්වය යළි මහින්දට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස යළිත් මහින්ද රාජපක්ෂ තෝරා පත්කරගෙන තිබෙනවා.

මේ වනවිට ආරම්භ වී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ විසින් මහින්ද රාජපක්ෂගේ නම යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් එය ස්ථිර කළා.

පොහොට්ටුවේ ජාතික මහා සම්මේලනය ඇරඹේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය මේ වන විට ආරම්භවී තිබෙනවා.

ඒ අනුව පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මෙය ආරම්භවී ඇති බවයි සඳහන් වන්නේ.

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස නියෝගයක්

රජයේ සේවයේ නිරතව සිටින විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 ක් දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (15) නියෝග කළා.

රජයේ සේවයේ නිරතව සිටින විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරු වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක් කරමින් විශේෂඥ වෛද්‍යවරු 176 දෙනෙකු ඇතුළු වෛද්‍යවරුන් විසින් රිට් පෙත්සම් 4 ක් ගොනුකළ තිබුණා.

ඊට අදාළ තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

ඒ අනුව රජයේ සේවකයින් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අදාළව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ “වෛද්‍යවරුන්ට” අදාළ කොටස අහෝසි කරමින් රීට් ආඥාවක් නිකුත් කරන බවද තීන්දුවේ සඳහන් වෙනවා.

රටේ අපරාධ නැති කිරීම මගේ ඉලක්කයයි – මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්

රටේ අපරාධ නැති කිරීම තමාගේ ඉලක්කයක් බවද, කෙතරම් බලවත් පුද්ගලයෙක් වුවත් එම ඉලක්කයට බාධා කරන ඕනෑම කෙනෙකුට තමා පහරදෙන බවද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසා සිටිනවා.

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම් පිළිබඳව උසස් පොලිස් නිලධාරින් හට උපදෙස් ලබාදීමේ වැඩමුළුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

තමා අවුරුදු ගාණක් තෙම්පරාදු වුනු කෙනෙක් බවද, සමාජ මාධ්‍ය වලින් සිදුකරන විවේචන වලට නොසැලෙන බවද, ඒවායින් තමා වැට්ටීමට නොහැකි බවයි ඔහු කියා සිටියේ.

පොලිස් නිලධාරින් ඉදිරියට පැමිණ රාජකාරිය කිරීමේදී යම් කිසි ප්‍රශ්ණයක් ඇතිවුව හොත් තමා ඒ වෙනුවෙන් පෙනී සිටින බව ඔහු අවධාරණය කරනවා.

රටේ දරුවන් වෙනුවන් කළ හැකි දෙය වන්නේ මත්ද්‍රව්‍ය හා පාතාලය නැති කිරීම බවත්, තම ඉලක්කය රටේ අපරාධ නැති කිරීම බවත්, ජුනි 30 ට පෙර සෑම පළාතකම ලොකු වෙනසක් දැකීමට අවශ්‍ය බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ.

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අද (15) සිට දෙසැම්බර් 31 දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක මිල අඩු කිරීමට සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කිරිපිටි, ආනයනික ටින් මාලු, දේශීය අල, කඩල ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩුකර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ භාණ්ඩ ඇතුළත් නිවේදනය පහතින්.

657c1999bcc00

තැඹිලි අපනයන ප්‍රවර්ධනයට නව වැඩ පිළිවෙලක්

මුරුතවෙල ඉහළ ප්‍රදේශය මෙරට ප්‍රථම තැඹිලි වගා ආදර්ශ ගම්මානය ලෙසින් සංවර්ධනය කිරීමේ කටයුතු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) ආරම්භ කෙරුණා.

නියමු ව්‍යාපෘතියක් වශයෙන් තැඹිලි පැළ 1,500 ක් මෙම ප්‍රදේශයේ ගෙවතු ආශ්‍රිතව රෝපණය කෙරෙන අතර, අමාත්‍යවරයා විසින් ඒ සඳහා අවශ්‍ය තැඹිලි පැළ බෙදාදීම සිදු කළා.

මෙරට තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බවත්, දැනට මාසයකට තැඹිලි කන්ටේනර් 200 ක් එරටට අපනයනය කරන බවත්, තැඹිලි අපනයනය කිරීමෙන් පසුගිය වසරේදී (2022) රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.

ලෝකයේ රසවත්ම තැඹිලි ශ්‍රී ලංකාවේ තැඹිලි බවත්, එම නිසා Sri Lanka Sweet Coconut සන්නාමය සහිතව ඉදිරියේදී ලංකාවේ තැඹිලි ලොව පුරා ජනප්‍රිය කරවීමට අවශ්‍ය පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පොහොර වංචාවකට සම්බන්ධ සමාගම් 07 ක බැංකු වාර්තා කැඳවීමට නියෝග

පොහොර සහනාධාර ජාතික වැඩපිළිවෙළ යටතේ ආනයනය කළ පොහොර තොග ගොවි ජනතාව වෙත ලබා නොදී, වෙනත් කර්මාන්ත ශාලාවලට වැඩි මිලකට අලෙවි කළ බව කියන සමාගම් 07කට අයත් බැංකු වාර්තා කැඳවන ලෙසට අධිකරණය නියෝග කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

මෙම පොහොර අඩු මිලට ගොවීන්ට ලබාදිය යුතු වුවද, ඒවා ගොවීන්ට ලබා නොදී වෙනත් කර්මාන්තශාලා වෙත වැඩි මිල ගණන් යටතේ අලෙවි කර ඇති බවට කරුණු තහවුරු වී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ.

පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සමාගම් 18න් 7ක් පමණ මෙම වංචාව සිදුකර ඇති බවට හඳුනාගෙන ඇති බවද එහිදී අධිකරණය වෙත දන්වා තිබෙන බව සඳහන්.

පොලිස් නිලධාරින් ලෙස හඟවමින් මාර්ග පරීක්ෂාවේ යෙදුණු තිදෙනෙක් අත්අඩංගුවට

පොලීස් නිලධාරින් බව හඟවමින් රාත්‍රී කාලයේ මාර්ගයේ ගමන්ගත් පුද්ගලයින් පරීක්ෂා කිරීමේ නිරත වී සිටි පුද්ගලයින් තිදෙනෙකු කැස්බෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැස්බෑව සර්වෝදය මාවතේ මාර්ග බාධකයක් යොදා, කැස්බෑව පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ලෙස හඟවමින් අදාළ පුද්ගලයින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන් තිදෙනා ජඹුරලිය සහ නිවුන්ගම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35 සහ 45 යන වයස්වල පසුවන පුද්ගලයන් බව සඳහන්.

රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදුණු කැස්බෑව පොලිසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් මෙම ව්‍යාජ පොලිස් වෙස් ගත් තිදෙනා දැක අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

උත්සව සමය අවසන් වන තෙක් බිත්තර 55 ට අඩුවෙන් අලෙවි කරන්න බැහැ – නිෂ්පාදකයින්

උත්සව සමයේ බිත්තර මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බව බිත්තර නිෂ්පාදකයින් පවසනවා.

ඒ අනුව උත්සව සමය අවසන් වන තෙක් බිත්තර රුපියල් 55ට අඩුවෙන් අලෙවි කිරීමට හැකියාවක් නොමැති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

බේකරි විසින් බිත්තර එක්රැස් කර ගැනීම මෙලෙස මිල වැඩිවීමට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් පවතින බිත්තර මිල අඩු කිරීම සඳහා බිත්තර නිෂ්පාදකයින්ට දින තුනක කාලයක් ලබාදී ඇති බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළා.

උඩවලව වේල්ල හරහා මාර්ගය අද සිට තාවකාලිකව වසා දැමේ

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උඩවලව වේල්ල හරහා වූ මාර්ගය අද (15) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජනවාරි 15 වනදා දක්වා අදියර කිහිපයක් යටතේ එම මාර්ගය වසා දැමෙන බවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කළේ.

අද සිට දෙසැම්බර් 22 වනදා දක්වා මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමෙන අතර, දෙසැම්බර් 23 දින සිට ජනවාරි 06 දක්වා එහි එක් මං තීරුවක් වසා දැමීමට නියමිතයි.

යළිත් ජනවාරි 07 වනදා සිට ජනවාරි 14 දින දක්වා මාර්ගය සම්පූර්ණයෙන් වසා දමන අතර, ඉන් අනතුරු ජනවාරි 15 වනදා උඩවලව වේල්ල හරහා මාර්ගය සම්පූර්ණයෙන්ම ගමනාගමනය සඳහා විවෘත කිරීමට නියමිතයි.