මොන දේ වුනත් අත්වල ලේ තවරගත්තේ නෑ – මහින්ද රාජපක්ෂ

තමාගේ අත්වල ලේ තවරාගෙන නැති බවද සාමය උදා කරදුන් රටේ නැවත ලේ වගුරනවාට තමා කැමති නැති බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

අරගලයෙන් නැත්තටම නැතිවීමට ගිය රට බේරුණේ ජනතාව දුන් ජනවරම නිසා බවට තමා විශ්වාස කරන අතර එම ජනවරම ආරක්ෂා කරගෙන රට වැටීමට ගිය ආගාධයෙන් ගොඩගන්නට හැකියාව ලැබුණු බවයි ඔහු සඳහන් කළේ.

අරගලයට මුවා වී තම පාක්ෂිකයන්ට පහර දුන් බවද, ගේ දොර ගිනි තැබීමට ලක්වූ අයට තවමත් සාධාරණයක් ඉටු වී නැති බවද ඔහු පවසා සිටියා.

මේ කාරණා සම්බන්ධයෙන් කොමිෂන් සභාවක් පත්කර විමර්ශණයක් පැවැත්විය යුතු බවට තමා විශ්වාස කරන බවයි ඔහු සඳහන් කළේ.

19 න් පහළ ආසියානු කුසලාන අවසන් තරඟයට බංගලාදේශය හා UAE සුදුසුකම් ලබයි

අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන එක්දින ජාත්‍යන්තර තරගාවලියේ අවසන් තරගයට බංග්ලාදේශ කණ්ඩායම හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ඊයේ සුදුසුකම් ලබා ගත්තා.

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම පූර්ව වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වූ අතර, ඉන්දියාව හා පාකිස්ථානය යන ප්‍රබල කණ්ඩායම් ද අවසන් පූර්ව තරගවලින් පරාජය වීම විශේෂත්වයක් වුනා.

සිකුරාදා (15) පැවැති අවසන් පුර්ව තරගවලින් බංග්ලාදේශය හා ඉන්දියාව අතර පැවතුණු අවසන් පුර්ව තරගයෙන් බංග්ලාදේශය කඩුලු 04 කින් ජය ගත් අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා පාකිස්ථානය අතර අවසන් පුර්ව තරගය ලකුණු 11කින් ජය ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමත් වුණා.

ඒ අනුව බංගලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් අතර  අවසන් මහා තරගය හෙට (17) ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

T.M. ඩිල්ෂාන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු ධූරයට අයදුම් කරයි

මෙරටින් බිහිවූ සුපිරි පිතිකරුවෙක් වෙන තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු ධූරය සඳහා අයදුම් කර ඇති බව ඔහු පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු ධූරය හිමිවුවහොත් තමාට ඒ සඳහා වසර 3 ක සැලැස්මක් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අධික වර්ෂාව නිසා සෝමාවතිය මාර්ගය ජලයෙන් යටවේ

දින ගණනාවක සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ගඟ පිටාර ගලමින් පවතිනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයටත්, මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයන්ටත්  අඛණ්ඩව වර්ෂාව ඇදහැලෙන අතර, ඒ හේතුවෙන් ඓතිහාසික සෝමාවතිය පූජා භූමියට ගමන් ගන්නා සුංගාවිල – සෝමාවතිය මාර්ගය අඩි දෙකක් පමණ ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

අද (16) උදෑසන සිට එම මාර්ගයේ සැහැල්ලු රථ වාහන ධාවන කටයුතු නවතා දැමීමට කටයුතු කළ බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

අදාළ මාර්ගය භාවිත කරන ජනතාව ඒ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසටයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් ඩබ්.එච්.කේ.එස්. පීරිස් පත්කෙරේ

ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්.එච්.කේ.එස්. පීරිස් ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස  පත්කර තිබෙනවා.

දෙසැම්බර් මස 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයේ රාජකාරි සඳහා ඒ මහතාව පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

2021 මැයි මස 07 වනදා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ඔහු මෙම ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම ආරක්‍ෂක සේනා ආඥාපති – බටහිර ලෙස රාජකාරි සිදුකළා.

වනජිවී නිලධාරීන් සඳුදා දින සංකේත වැඩ වර්ජනයක

ලබන සඳුදා දින සංකේත වැඩ වර්ජනයක නිරතවීමට දිවයින පුරා වනජිවී නිලධාරීන් තීරණය කර තිබෙනවා.

වනජිවී නිලධාරීන්ගේ සේවය ඇගයීමට ලක් නොකිරීම ඇතුලු රාජකාරියේදී පවතින ගැටළු කිහිපයකට විරෝධය පල කරමින් මෙම පියවර ගන්නා බවයි සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක පවසන්නේ.

මේ වනවිට රාජකාරියේ නිරතව සිටියදී වනජිවී නිලධාරීන් 85 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් 23 දෙනෙකු වන අලි ප්‍රහාර වලින් මියගොස් ඇති බව ද ඔහු කියා සිටියා.

ජාතික උසස් අධ්‍යාපන අධිකාරියක් පිහිටුවීමට තීරණයක් – සුරේන් රාඝවන්

ජාතික උසස් අධ්‍යාපන අධිකාරියක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසනවා.

ජාත්‍යයන්තරයේ සිදුකෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පර්යේෂණ සහ සංවර්ධනයන් පිළිබඳව අධ්‍යයනයන් සිදු කිරීම සඳහා, 21 වන සියවසට ගැලපෙන අයුරින් මෙම අධිකාරිය පිහිටුවීමට නියමිත අතර, විශ්වවිද්‍යාල පරිපාලන කටයුතු එක් තැනකට රැගෙන ඒම ද එහි අරමුණක් වනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළා.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා විශාල මුදලක් වෙන්කරමින් ආයෝජනයන් සිදු කර තිබෙන බවද, විශ්ව විද්‍යාලවල මානව ශාස්ත්‍ර අංශයේ ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවද,. ඒ සඳහා විශේෂ සාකච්ඡාවක් ලබන මස පැවැත්වීමට සැළසුම් කර තිබෙන බවද මෙහිදී කරුණු අනාවරණය වුනා.

එසේම ලබන වසර සඳහා මෙරට විශ්ව විද්‍යාලවලට සිසුන් 41,000ක් බඳවා ගැනීමට තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.

ජනපති හෝර්ටන් තැන්නේ සංචාරයක

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන්ගේ (High-end Tourism) කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙනවා.

ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ ඊයේ (15) පෙරවරුවේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව වනජීවි දෙපාර්තමේන්තුවට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමි ප්‍රදේශ ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිතියම් මූලාශ්‍රයෙන් නිරීක්ෂණය කළ අතර හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ එහි ප්‍රේරක කලාපයට අයත් සියලු ඉඩම් එක් සිතියමකට සිතියම්ගත කර කඩිනමින් තමා වෙත ලැබීමට සලස්වන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ සම්බන්දයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

657c4b48700acpdf_page_0

අලුත් රටක් වෙනුවෙන් පෙළ ගැහෙන ලෙස සියළු දෙනාට ආරාධනා කරනවා – මහින්ද

අලුත් රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් ජාති ආගම් භේදයකින් තොරව එක්වන ලෙස සියළු දෙනාට ආරාධනා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

කුමන බලවේග පැමිණියද හෙට දිනයේත් රටේ ප්‍රබලම බලවේගය බවට පත්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත්, ඊළඟ මැතිවරණයේ බලවත්ම කඳවුර වන්නේද පොදුජන පෙරමුණ බවයි ඔහු සඳහන් කළේ.

ජනතාව ආර්ථික පීඩනයක සිටින බවත්, විදුලි සහ ජල ගාස්තු වැඩි බවත්, භාණ්ඩ මිල අඩු කිරීමට හැකිතාක් උත්සාහ කළ යුතු බවත්, ඒ අතරතුර රටට ඉදිරියට යාමට අවශ්‍ය වටපිටාව සකස් කර දිය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අපේම ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම් වෙමු, ඒක පාණ්ඩුවක් නොවන්න කටයුතු කළ යුතුයි – බැසිල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන ඕනෑම මැතිවරණයක් ජය ගැනීමට සූදානම් බව පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසනවා.

සිය පක්ෂයේම ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් විය යුතු බවත්, එය පෙර ආකාරයේ මෙන් පාණ්ඩුවක් නොවී නියම එඩිතර ආණ්ඩුවක් වීමට කටයුතු කළ යුතු බවයි පක්ෂ සම්මේලනය අමතමින් ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගල් ගැසීමට කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරියේදී බලාගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.