ආනයනික බිත්තර මිලියන 10 ක් අද වෙළෙඳපොළට

ආනයනික බිත්තර මිලියන 10 ක් අද (18) සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත අදාළ බිත්තර තොගය අද සිට ලංකා සතොස ආයතනය වෙත බෙදාහැරීමට නියමිත බවයි එම සංස්ථාව සඳහන් කළේ.

ඒ අනුව කිසිදු හිගයකින් තොරව සතොස අලෙවිසැල් ජාලය හරහා උත්සව සමයේ දී ජනතාවට බිත්තර මිලදී ගැනීමට හැකිවනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

මිල්කෝ සමාගමට නව සභාපතිවරයෙක්

සීමාසහිත මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා පත්කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර තිබෙනවා.

ඒ අනුව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තනතුරට අමතරව මෙම සභාපති ධුරයේ ද රාජකාරි කටයුතු අමාත්‍යවරයා විසින් ජනක ධර්මකීර්තිට පවරා ඇති බවයි සඳහන් වන්නේ.

මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කල රේනුක දුෂ්‍යන්ත පෙරේරා ඉවත්වීමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.

පාසල් අවට විශේෂ මෙහෙයුමක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිගෙන් නියෝග

පාසල් අවට ළමයින්ට අහිතකර දේවල් අලෙවි කරන සියලුම ස්ථාන මීළඟ පාසල් නිවාඩුව නිමවන විට ඉවත්කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඒ අනුව සෑම පාසලකම මීටර් 500 ක සීමාවේ ළමයින්ට අහිතකර දෑ අලෙවි කරන සියලු ස්ථාන නැවත පාසල් ආරම්භ කරන විට ඉවත් කිරීමට කටයුතු කරන බවයි උත්සවයක් අමතිමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව එවැනි ස්ථාන මීළඟ පාසල් නිවාඩු කාලය තුළදී පරීක්ෂා කර ඉවත් කිරීමට පොලිස් ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් සඳහන් කළේ.

නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව හා ක්‍රීඩා ඇමති අතර හමුවක්

නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව හා ක්‍රීඩා අමාත්‍යවරයා අතර හමුවක් අද (18) පවත්වා තිබෙනවා.

ඒ අනුව නව තේරීම් කමිටුවේ නවීන සහ උපායශීලී සැලසුම් මත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත පෙරලිකාර විජයග්‍රාහී තැනකට ඔසවා තැබීමේ හැකියාව ඔවුන් සතුව ඇති බවයි ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ ප්‍රධානී සනත් ජයසූරිය සහ නව ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයින් එක්ව සිටි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ජෙරම්ගේ පෙත්සමට එරෙහිව නීතිපතිගෙන් විරෝධතාවක්

තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙන නියෝගය බල රහිත කිරීමේ තීරණයක් ලබා දෙන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ගොනුකර තිබෙන පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතුකර තිබෙනවා.

ඒ අනුව එම මූලික විරෝධතා පිළිබඳ නියෝගය මේ මස 20 වනදා ප්‍රකාශයට පත්කරන බවත් අභියාචනාධිකරණය සඳහන් කළේ.

ආගම්වලට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ක්‍රිකට් ගොඩගැනිමට අවුරුදු දහයකවත් සැලැස්මකට කටයුතු කළ යුතුයි – කුමාර් ධර්මසේන

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට නම් අවම වශයෙන් වසර 10ක වත් සැලැස්මකට අනුව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙක් වන කුමාර් ධර්මසේන පවසනවා.
ඒ අනුව තේරීම් කමිටුවේ ඔළුගෙඩි මාරුවකින් පමණක් වෙනසක් නොවන බවත් ඒ සඳහා අවම වසර 10 ක සැලැස්මක් අනුව කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එසේම කණ්ඩායමක නායකයෙක් සාදනවා නම් එම නායකයා අවුරුදු 5 කට හෝ නායකත්වය දැරිය හැකි පුද්ගලයෙක් නායකයා ලෙස තෝරාගත යුතු බවත් දැන් සිදුකළ යුත්තේ 2027 ලෝක කුසලානය සඳහා අවශ්‍ය නායකයා තෝරා ගැනීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ වන විට ක්‍රිකට්වල ඇත්තේ තාවකාලික පසුබෑමක් නිසා එය අනාගතයේදී නිවැරදි වනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් සැලැස්මක් අනුව කටයුතු කළහොත් වැඩිකල් යාමට මත්තෙන් ඉදිරියට පැමිණීමට හැකිවනු ඇති බවයි කුමාර් ධර්මසේන වැඩිදුරටත් සඳහන් කළේ.

හිටපු සෞඛ්‍ය ලේකම් CID අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

බිත්තර මිලියන 15 ක් අද දිවයිනට

උත්සව සමය සඳහා අවශ්‍ය බිත්තර මිලියන 15ක් අද (17) දිනයේදී දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇති බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව එම බිත්තර පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමෙන් අනතුරුව වෙළෙඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ.

මේ අතර බිත්තර මිලියන 10ක් එළඹෙන සදුදා (18) දිනයේ සතොස ආයතනය වෙත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ටෙස්ට්, එක්දින හා T20 කණ්ඩායම්වලට නව නායකයින් පත් කිරීමට අවධානය

ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් තුන සඳහා නව නායකයන් පත්කිරීමට උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ටෙස්ට් නායකත්වය ධනංජය ද සිල්වාටත්, එක්දින නායකත්වය කුසල් මෙන්ඩිස්ටත්, විස්සයි විස්ස නායකත්වය වනිඳු හසරංගටත් ලබාදීමට තේරීම් කමිටුවේ අවධානය යොමුවී ඇති බවයි සඳහන් වන්නේ.

එසේම ටෙස්ට් කණ්ඩායමේ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල උප නායකත්වයට චරිත් අසලංක පත් කිරීමටනියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කෙරේ

ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වර්ෂාවත් සමග ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ජලාශයේ වාන් දොරටු 6ම අඩියක් බැගින් විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ  හේතුවෙන් ජලාශයට පහළ කිරිඳි ඔය දෙපස පහත්බිම්වල ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන්  පසුවන  ලෙස  තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් දැනුම්දී තිබෙන්නේ.