ටෙලිකොම් සේවකයින් අද 8 වන දිනටත් වැඩ වර්ජනයේ

ටෙලිකොම් සේවකයින් අද (21) අඛණ්ඩව 8 වන දිනටත් වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබෙනවා.

වත්මන් සභාපතිවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ ක්‍රියාකලාපයට සහ ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණා.

අද දිනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ සඳහන් කළේ.

දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත භාර තනතුරෙන් ඉවත් කර වැඩ තහනම් කර සේවයෙක් පහ කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටීම

සභාපති සහ සියලුම සාමාජිකයන්,
ජාතික පොලිස් කොමිෂන් සභාව.

දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත භාර තනතුරෙන් ඉවත් කර වැඩ තහනම් කර සේවයෙක් පහ කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටීම

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් පත් කර සිටින දේශබන්දු තෙන්නකෝන් නම් නිලධාරියා පොලිස් අධිකාරීවරයකුව සිටියදී ශ්‍රී ලංකාවේ පුරවැසියකු නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, නීති විරෝධී ලෙස රඳවා තබා ගනිමින්, බරපතල ලෙස වධහිංසා පැමිණවීමට වගකිවයුතු බවට ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළේය.

SC (FR) Application No.107/2011 දරණ මූලික අයිතිවාසිකම් නඩුවට අදාලව 2023 දෙසැම්බර් මස 14 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් නම් එම නඩුවේ පස් වැනි වගඋත්තරකරු පුරවැසියාට වද හිංසා කිරීමට සෘජුවම සම්බන්ධ වී ඇති බවයි. එම පෙත්සමේ පෙත්සම්කරු ඇතුළු සැකකරුවන් කිහිප දෙනකුට දැනට මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපතිව සිටින එවකට මිරිහානේ සේවය කළ භාතිය ජයසිංහ ඇතුළු පොලිසියේ පරිසක් වද හිංසා පමුණුවමින් සිටි වධකාගාරයට දේශබන්දු තෙන්නකෝන් ද ගොස් ඇති බව එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් වේ. දේශබන්දු තෙන්නකෝන් එම වධකාගාරයට ගොස් සැකකරුවන් නිරුවත් කර ඔවුන් පෝලිම් කර ඔවුන්ගේ ශරීරයේ සෑම තැනකටම පහර දී සැකකරුවන්ගේ ලිංගේන්ද්‍රවල සිද්ධාලේප ආලේප කරගන්නා ලෙස අණ කර නැවත පහරදී ඇතැයි එම නඩු තීන්දුවේ පැහැදිලිවම සඳහන් වේ.

එවැනි වධකාගාර ඇත්නම් ඒවා ගැන සොයා බලා නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට වාර්තා කළ යුතු කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයකු වධකාගාරයටම ගොස් බරපතල ලෙස වධහිංසා පැමිණවීම ඉතාම බරපතල තත්ත්වයක් වන අතර එවැනි නිලධාරියකු ශ්‍රී ලංකා පොලිසියේ සිටීමම පොලිසිය ගැන මහජන විශ්වාසය බරපතල ලෙස පලුදු කරන්නකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12.1, 13.1 සහ 13.2 යන ව්‍යවස්ථා මගින් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් ඉතා බරපතල ලෙස උල්ලංඝනය කළ බවට ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති දේශබන්දු තෙන්නකෝන් නම් පුද්ගලයා මේ වන විට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරමින් සිටින අතර ජනාධිපතිවරයා විසින් ඔහු වැඩබලන පොලිස්පති ලෙස ද පත් කරනු ලැබ තිබේ. සැකකරුවන්ට පහරදීමට එහා ගොස් ලිංගික අතරවයට ලක් කර ඇති බව ද නඩුවේදී කියැවී තිබෙන අතර සැකකරුවන් නිරුවත් කර ඔවුන් දෙස බලා සිටීම, සැකකරුවන්ගේ ලිංගේන්ද්‍රවල සිද්ධාලේප ආලේප කිරීමට අණ කිරීම ඇතුළු ක්‍රියා මගින් දේශබන්දු තෙන්නකෝන් යනු විකෘති ලිංගික ආශාවන් ඇති පුද්ගලයකුද යන්නද බරපතල සැකයක් මහජනතාව තුළ මතුවී තිබේ. එවැනි පුද්ගලයකු පොලිසියේ ප්‍රධාන තනතුරක් දැරීම මගින් ශ්‍රී ලංකා පොලිසිය ගැනත්, ජාතික පොලිස් කොමිෂන් සභාව ගැනත් මහජන විශ්වාසය පළුදු වීමට මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පවා දැඩි කතා බහක් ඇතිවීමටත් ඉඩ කඩ තිබේ.

තමන් විසින් මෙම මූලික අයිතාවිසිකම් කඩ කිරීමට වගඋත්තරකරුවන් යැයි සොයාගෙන ඇති පිරිසට සුදුසු විනය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයේ දැක්වෙන්නේ විනය පරීක්ෂණ පවන්වන ලෙස නොව සුදුසු විනය පියවර ගන්නා ලෙසයි. දේශබන්දු තෙන්නකෝන් නම් නිලධාරියා ඇතුළු සෙසු නිලධාරීන් පුරවැසියන් නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, නීති විරෝධීව රඳවා තබා ගනිමින්, කෘර සහ අමානුෂික ලෙස වද හිංසා කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය සනාථ කර ඇති හෙයින් නැවත විනය පරීක්ෂණයක් අවශ්‍ය නොවන අතර පොලිස් කොමිසම කළ යුතුව ඇත්තේ සුදුසු විනය පියවරක් ගැනීමය.

මෙවැනි නිලධාරීන් තවදුරටත් පොලිස් සේවයේ තබා ගැනීම මගින් පොලිස් සේවය බරපතල ලෙස කඩාවැටීමකට ලක්විය හැකිය.

එසේ හෙයින් ජාතික පොලිස් කොමිෂන් සභාවට පැවරී ඇති බලතල අනුව පහත ක්‍රියාමාර්ග ගන්නා ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු. අදාල නඩු තීන්දුව මේ සමග ඇත.
https://www.supremecourt.lk/images/documents/sc_107_2011.pdf

1) මූලික අයිතිවාසිකම් නඩුවේ පස් වැනි වගඋත්තරකරු වූ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගත හැකි සුදුසු විනය ක්‍රියාමාර්ගය වන පොලිස් සේවයෙන් පහ කරීමට අදාල විනය නියෝගය නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමු.

2) එලෙස විනය ක්‍රියාමාර්ග ගන්නා තෙක් වහාම ඔහු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරෙන් ඉවත් කර වැඩ තහනම් කරන ලෙස ඉල්ලා සිටිමු.

3) මුලික අයිතිවාසිකම් පෙත්සමේ දෙවැනි වගත්තරකාර භාතිය ජයසිංහ නම් නිලධාරියා දැනට දරණ මාලිගාවත් පොලිස් ස්ථානාධිපති තනතුරෙන් වහාම ඉවත් කර වැඩ තහනම් කරන ලෙසත්, සුදුසු විනය ක්‍රියාමාර්ගය වන පොලිස් සේවයයෙන් පහ කිරීමේ නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිමු.

4) මූලික අයිතිවාසිකම් පෙත්සමේ පළමු වගඋත්තරකරු වන බණ්ඩාර නම් නිලධාරියා දැනට දරණ තනතුරෙන් ඉවත් කර වැඩ තහනම් කරන ලෙසත්, කඩිනමින් විනය ක්‍රියාමාර්ගය වන සේවයෙන් පහ කිරීමේ නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිමු.

ස්තුතියි.

සභාපති
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

චාමර වීරසිංහ හදිසියේ රෝහල්ගත කරයි

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

චාමර වීරසිංහ ශ්වසන ආබාධයකින්(Respitatory obstruction) පෙළෙන බව රෝහල් වාර්තා සඳහන් කරයි.

එමනිසා ඔහුට ශ්වසන ආධාරක සහිතව ප්‍රතිකාර සැපයෙන බව පැවැසේ.

ව්‍යාජ වීසා බලපත්‍ර සකසන ස්ථානයක් කුරුණෑගලදී වටලයි

කුරුණෑගල, පන්නල ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ව්‍යාජ ලෙස වීසා බලපත්‍ර සකස් කරන ස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වටලා තිබෙනවා.

එම ස්ථානය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බවයි පොලීසිය පවසන්නේ.

රනිල් නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වේවි – රවී කරුණානායක

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව හිටපු අමාත්‍යවරයෙක් වන රවී කරුණානායක පවසනවා.

ඒ අනුව සියලු දේශපාලන පක්ෂ එක්ව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිම කාලීන අවශ්‍යතාවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙක් පක්ෂ එකතුව මේ රට සංවර්ධනාත්මක ගමනකට ගෙනයන බවත්, යම් ආකාරයක ඉදිරි දැක්මක් සහිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අපේ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂයින් අතර ධම්මික පෙරේරාත් ඉන්නවා – සාගර

පක්ෂයක් ලෙස එන ඕනෑම මැතිවරණයකට ශක්තිමත්ව මුහුණදීම සඳහා සියලු පියවර මේ වනවිට ගනිමින් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති වුවත් අපේක්ෂකයින් හතරදෙනෙක් සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින් තිබෙන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එම අ‌පේක්ෂයින් අතර මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන ධම්මික පෙරේරාද සිටින බවත්, තම පක්ෂය හොඳම අපේක්ෂකයා ඉදිරිපත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ට්‍රම්ප්ට කොලරාඩෝ ප්‍රාන්තයෙන් ජනාධිපති අපේක්ෂකත්වය අහිමිවෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබන වසරේ කොලරාඩෝ ප්‍රාන්තයෙන් ජනාධිපති ධූරයට තරඟ කළ නොහැකි බවට අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනයේ 3 වන වගන්තිය අනුව මෙම නියෝගය ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අදාළ තීන්දුවට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් හට ජනාධිපතිවරණය සඳහා කොලරාඩෝ ප්‍රාන්තයෙන් තරග වැදීමට අවස්ථාව අහිමි වන අතර කෙසේ නමුත් ඔහුට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඉන්දියාවෙන් ගෙනා බිත්තර මිලියන 15 ක් පරීක්ෂණ සඳහා යොමු කෙරේ

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර මිලියන 15 ක් පරීක්ෂණ කටයුතු සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව අනුමැතිය ලැබීමෙන් පසු එම බිත්තර තොගය සතොස ආයතනය වෙත භාරදීමට නියමිත බවයි එම සංස්ථාව සඳහන් කළේ.

කිසිඳු හිඟයකින් තොරව උත්සව සමයේ ජනතාවට සතොස හරහා බිත්තර මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණයට පැමිණි ගුරුවරුන් අපහසුතාවක

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා පැමිණි ගුරුභවතුන්ට නිසිලෙස පහසුකම් සපයා නොමැති වීමෙන් අද (20) උදෑසන විභාග දෙපාර්තමේන්තුව අසල උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

දුර බැහැර පළාත්වලින් ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු වෙනුවෙන් පැමිණි ගුරුවරුන්ට නවාතැන් පහසුකම් ඇතුළු සෙසු පහසුකම් සපයා නොදීම හේතුවෙන් ඔවුන් ඊයේ (19) රාත්‍රිය වනතුරු නවාතැන් ස්ථාන සොයා ගැනීමට පවා නොහැකිව බොහෝ අපහසුතාවයට පත්වූ බවයි එම ගුරුවරුන් සඳහන් කරන්නේ.

අධික මුදලක් වැයකර නවාතැන් ස්ථාන සොයාගෙන මෙවැනි කටයුත්තක් සිදුකිරීම අපහසු බව පවසමින් ඔවුන් අද (20) ප්‍රශ්න පත්‍ර නැවත සමීක්ෂණ කටයුතුවලින් ඉවත්වූ බවයි සඳහන් වන්නේ.

පසුව විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා පැමිණ ගුරුවරුන්ව නැවත සමීක්ෂණ කටයුතු සඳහා රැගෙන යෑමට සහ ගැටලුව විසඳීමට මැදිහත් වූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සමලිංගික යුවළ ආශිර්වාද ගැන්වීමට රෝමානු කතෝලික පූජකවරුන්ට අවසර

සමලිංගික යුවළ ආශිර්වාද ගැන්වීම සඳහා රෝමානු කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර ලබාදීමට අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව සමරිසි යුවළ සඳහා ආශිර්වාද කිරීමේ දී ඇතැම් කොන්දේසිවලට යටත් කර ඇති අතර එම යුවළ සඳහා ආශිර්වාද කිරීම පිළිබඳව තීරණය කිරීමට පූජකවරුන්ට ලබාදී තිබෙන බවයි සඳහන් වන්නේ.

කෙසේවෙතත් විවාහය යනු තවදුරටත් කාන්තාවක් සහ පුරුෂයෙකු අතර සිදුවන ක්‍රියාවක් ලෙස අඛණ්ඩව සැලකීමට වතිකානුව තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.