ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට

ත්‍රිරෝද රථ ගාස්තු හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමන බව ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව දෙවන කිලෝමීටරය සඳහා අයකළ රුපියල් 80 ක ගාස්තුව 100 ක් දක්වා ඉහළ දමන බවයි එම සංගමය සඳහන් කළේ.

හෙට සිට ජංගම දුරකථන මිල 35% කින් ඉහළට

හෙට (01) සිට සියලුම ආකාරයේ ජංගම දුරකථනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව හෙට සිට ජංගම දුරකථනයක මිල 35% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි එම සංගමයේ සභාපති සමිත් සෙනරත් සඳහන් කළේ.

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද සංශෝධනය කිරීම හේතුවෙන් මෙලෙස මිල වැඩිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ප්ලේන්ටි, කිරි තේ, කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් මිල ඉහළට

හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි ප්ලේන්ටි, කිරි තේ ඇතුළු කෙටි ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 5 කින්, කිරිතේ මිල රුපියල් 10 කින්, කෙටි ආහාර රුපියල් 10 කින් මිල වැඩි කර තිබෙනවා.

එසේම ෆ්‍රයිඩ් රයිස් හා කොත්තු මිල රුපියල් 25 කින් ඉහළ දමා ඇති බවයි සමස්ත ලංකා ආපන ශාලා හා අවහන්හල් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

නව වසර රාජකාරී උත්සවාකාරයෙන් ආරම්භ කරන ලෙස රාජ්‍ය ආයතනවලට දැනුම්දෙයි

නව වසරේ රාජකාරී ආරම්භ කරන හෙට (01) දිනය තුළ සියලුම රාජ්‍ය සේවකයින්ගේ සහභාගිත්වයෙන් සිය සේවා ස්ථානවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතනවලට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානින් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒ බව දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

එහි ප්‍රධාන නිල උත්සවය හෙට (01) පෙරවරු 09.00 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

වැලිගම වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියෙකු මරුට

වැලිගම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව වැටලීමක් අතරතුර මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන අතර සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවත් මිය ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයක්ත පොලිස් සාජන්වරයෙකු බවයි සඳහන් වන්නේ.

වැලිගම – පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසළ අද (31) අලුයම් කාලයේ දී මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර වෑන් රථය පසුපස වැලිගම පොලීසිය හඹා ගොස් ඇති අතර පසුව සිදු වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියා මිය ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අද සවස සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

අද (31) දින රාත්‍රියේ කොළඹ නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

ඒ අනුව අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සිදුකරන සැමරුම් හේතුවෙන් ඇතිවිය හැකි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් අද (31) පස්වරු 5.00 සිට එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වන බවයි ඔහු සඳහන් කළේ.

ගාලු මුවදොර ආශ්‍රිතව මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන ආකාරය පහතින්.

6590ceb70c861

විදුලි සංදේශ සේවා ගාස්තු හෙට සිට 3% කින් ඉහළට

වැට් බදු සංශෝධනය සමඟ හෙට (01) සිට විදුලි සංදේශ සේවා සඳහා වන බදු ඉහළ නැංවෙන බව දුරකථන සමාගම් පවසනවා.

ඒ අනුව 15% ක්ව පැවති වැට් බද්ද 18% ක් දක්වා ඉහළ දැමීමට රජය පියවර ගත් අතර මේ හේතුවෙන් විදුලි සංදේශ සේවා සඳහා වන බද්ද ද 3% කින් ඉහළ නැංවෙන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව සියලු ඇමතුම් ගාස්තු, අන්තර්ජාල සේවා ගාස්තු, මුදල් ගෙවා ලබාගනු ලබන රූපවාහිනී සේවා ගාස්තු යනාදී සියලු සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු ඉහළ නැංවෙන බවයි දුරකථන සමාගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දෙසැම්බර් මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 2 සීමාව ඉක්මවා ගියා – හරීන්

මෙම දෙසැම්බර් මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 2 සීමාව ඉක්මවා ගිය බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව පසුගිය වසර 4 ඇතුළත මාසයක් තුළ ඉහළම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇත්තේ මෙම දෙසැම්බර් මාසයේදී බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

2023 වසරේ මුල සංචාරකයින් මිලියන 1.5ක් ගෙන්වා ගැනීමේ ඉලක්කයක් තිබූ අතර මෙම වසර අවසානයේදී එම ඉලක්කය සපුරාගැනීමට හැකිවෙනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

හුරුලුවැව වාන් දැමිම ආරම්භ වේ

හුරුලුවැව වාන් දැමිම ආරම්භ වේ .. මේ වන විට තප්පරයට ඝන අඩි එකසිය විසි හයක ප්‍රමාණයක් යාන් ඔයට ජලය මුදා හැරෙන බව හුරුලුවැව බාර වරි ඉන්ජනේරු දසුන් තිලකරත්න මහතා අප කළ විමසීමකදී පැවසීය.

සිම්බාබ්වේ තරගාවලිය සඳහා 20-20 සංචිතය නම් කෙරේ

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන  20-20 තරගාවලිය සඳහා විසි දෙදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර, ඊට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද හිමිවී ඇති බව වාර්තා වනවා.

එම 20-20 සංචිතයේ නායකයා ලෙස වනිඳු හසරංග නම් කර ඇති අතර, උප නායකයා ලෙස චරිත් අසංලක නම් කර තිබෙනවා.

2021 වසරෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් යළිත් ශ්‍රී ලංකා 20-20 සංචිතයට කැඳවා ඇති අතර, භානුක රාජපක්ෂ, බිනුර ප්‍රනාන්දු සහ අකිල ධනංජය ද 20-20 සංචිතයට නම් කර තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි මස මුලදී එක්දින සහ 20-20 තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි.සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන 20-20 තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය පහතින්,

* වනිඳු හසරංග* චරිත් අසලංක* පැතුම් නිස්සංක* කුසල් මෙන්ඩිස්* සධීර සමරවික්‍රම* දසුන් ශානක* ඇන්ජලෝ මැතිව්ස්* ධනංජය ද සිල්වා* මහීෂ් තීක්ෂණ* නුවන් තුෂාර* කුසල් ජනිත්* භානුක රාජපක්ෂ* කමිඳු මෙන්ඩිස්* මතීෂ පතිරණ* දුනිත් වෙල්ලාලගේ* අකිල ධනංජය* ජෙෆ්රි වැන්ඩර්සේ* චාමික කරුණාරත්න* බිනුර ප්‍රනාන්දු* ප්‍රමෝද් මධුෂාන්* ඩිල්ශාන් මධුසංඛ* දුෂ්මන්ත චමීර