කථානායකවරයාට එරෙහිව ව්ශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරනවා – ජී.එල්. පීරිස්

Online Safety පනතට අදාළ නියමිත සංශෝධන සිදු නොකර, සම්මත කර අත්සන් කිරීමට එරෙහිව කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

Online Safety පනත සම්මත කිරීම සිදුකළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනි ආකාරයෙන් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමේදී විපක්ෂ නායකවරයා නායකත්වය ගනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පාන් අලෙවි කරන සෑම වෙළඳසැලකම තරාදියක් තිබිය යුතුයි – පාරිභෝගික අධිකාරිය

පාන් අලෙවි කරන සෑම වෙළඳසැලකම තරාදියක් තිබිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ අනුව පාරිභෝගිකයාට පාන් ගෙඩියක බර පරික්ෂා කර බැලීමට අවස්ථාව සලසා දිය යුතු බවයි එහි අධ්‍යක්ෂ (විශේෂ වැටලීම් සහ විමර්ශන ඒකකය) සංජය ඉරසිංහ සඳහන් කළේ.

එසේ තරාදියක් නොමැති නම් 1977 දුරකථන අංකයට දැනුම්දිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔහු ගෙනාපු බෙහෙත් බොන්න බෑ, සිංගප්පූරුවෙන් ගෙනාපු බෙහෙත් ඕන කියලා කියනවලු – වෛද්‍ය රුක්ෂාන්

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඔහු විසින් ගෙන ආ බෙහෙත් වර්ග ලබාගැනීම ප්‍රතික්ෂේප කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

ඒ වෙනුවට ඔහුට සිංගප්පූරුවෙන් ගෙන් වූ ඖෂධ ලබා ගැනීමට අවශ්‍යයැයි පවසන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා සඳහන් කළේ.

එසේම ඔහුට බන්ධනාගාර රෝහලේ සිටීමට නොහැකි බවත්, පෞද්ගලික රෝහලක නවාතැන් දෙන ලෙසද ඉල්ලා සිටින බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වැඩිදුරටත් සඳහන් කළා.

කෙහෙළිය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඔහුගේ අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමක් අත්සන් කිරීම අද (05) ආරම්භ කළා.

ඒ අනුව ජාතික සිවිල් සංවිධාන පෙරමුණ ඇතුළු පාර්ශව රැසක් එක්ව මෙම මහජන පෙත්සම් අත්සන් කිරීමට සංවිධානය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී අදහස් දැක්වූ මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක සඳහන් කළේ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අමාත්‍ය ධූරයෙන් පමණක් නොව පාර්ලිමේන්තුවෙන්ද ඉවත් කළ යුතු බවයි.

වසරකට ළමා පිළිකා රෝගීන් 900 ක් වාර්තා වෙනවා – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

වසරකට ළමා පිළිකා රෝගීන් 900කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

එය පසුගිය වසර කිහිපයට සාපේක්ෂව වැඩි අගයක් ගන්නා බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරන්නේ.

ළමුන්ගේ දෛනික ක්‍රියාකාරකම් අඩු වීම හා කෙටි ආහාර සහ පැණි බීමවලට ළමුන් වැඩි පිරිසක් හුරුවීම මෙලෙස පිළිකා රෝගී තත්ත්වයන්ට බලපා ඇති බවද ඔහු සඳහන් කළා

අද (05) පෙරවරුවේ ඉන්දියානු විදේශ අමාත්‍යාංශයේදී ඉන්දියානු විදේශ ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් සිදුවිය.

අද (05) පෙරවරුවේ ඉන්දියානු විදේශ අමාත්‍යාංශයේදී ඉන්දියානු විදේශ ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් සිදුවිය.

ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳවත් ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.

දෙපාර්ශවය අතර අනෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

මෙම ඉන්දීය සංචාරය සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් යන සහෝදරවරුද සහභාගි වූහ.

යුද හමුදා නිලධාරීන් 1,450කට උසස් වීම් ලබාදෙයි

76 වන ජාතික නිදහස් දින සංවත්සරය වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් 1,450ක පිරිසකට උසස් වීම් ලබා දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය මත යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ උසස්වීම් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බල සේනාවල නිලධාරීන් 211 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,239 දෙනෙකු වෙත එම උසස් වීම් ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නිදහස් දිනය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් 754 කට නිදහස

නිදහස් දිනය වෙනුවෙන් ජනපති සමාව හිමි වූ සිරකරුවන් 754දෙනෙකු අද (04) දිනයේ නිදහස් කර තිබෙනවා.

ඒ අතර කාන්තා රැඳවියන් 25 දෙනෙකුද වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර අදට යෙදී ඇති නිදහස් දිනය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් හමුවීමට අවසර හිමිව තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

76 වන නිදහස විදේශ සංචාරකයින්ද සමරති

76 වන ජාතික නිදහස් දින සැමරුම් දින වැඩසටහන් විදෙස් සංචාරකයින් ගේ සහභාගීත්වයෙන් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේ දී පවත්වන ලදී.

ජාතික ධජය ඔසවා , ජාතික ගීය ගායනා කිරීමෙන් පසු රටදැය වෙනුවෙන් දිවිදුන් රණවිරුවන් සමරා විනාඩියක නිශ්සබ්දතාවයක් සිදුකර හෙල සංස්කෘතික නර්තනාංග රාශියකින්ද වැඩසටහන පවත්වන ලදී
මේ සදහා එම හෝටලයේ නවාතැන් ගෙන සිටින එංගලන්තය, නෙදර්ලන්තය, ජර්මනිය, රුසියාව සහ ප්‍රංශය ඇතුළු රටවල විදෙස් සංචාරකයින් එක්ව සිටියහ.

එම හෝටලයේ කළමනාකරු රවී කුරුකුලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පවත්වන ලදී .

WhatsApp Image 2024-02-04 at 16.41.11 WhatsApp Image 2024-02-04 at 16.41.10 (1) WhatsApp Image 2024-02-04 at 16.41.09 WhatsApp Image 2024-02-04 at 16.41.10 WhatsApp Image 2024-02-04 at 16.41.06 WhatsApp Image 2024-02-04 at 16.41.02 WhatsApp Image 2024-02-04 at 16.41.01 WhatsApp Image 2024-02-04 at 16.40.59 WhatsApp Image 2024-02-04 at 16.41.26

ගල්පාත චන්දන පෙරේරා

76 වන ජාතික නිදහස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් අභිමානවත්ව

     ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අගමැති එක් වෙයි

     ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ,  තුන්වන චාල්ස් රජු ඇතුළු ලෝක රාජ්‍ය නායකයන්ගෙන් සුබ පැතුම්

76 වන ජාතික නිදහස් දින සැමරුම “හදමු අලුත් රටක්” යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී අභිමානවත්ව පැවැත්විණි.
මෙහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තාවීසින් මහතා එක්ව සිටි අතර ලොව සියලුදෙනාගේ සහාය ඇතිව යළි ගොඩනැඟෙමින් සිටින ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ලොවට විදහා දැක්වීම මෙහි අරමුණ විය.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජනාධිපතිවරයා උත්සව භූමියට සම්ප්‍රාප්තවීම සැල කෙරෙන හොරණෑ වාදනය කිරීමෙන් පසු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ වැඩබලන පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයාව උත්සව භූමියේ ප්‍රධාන කොඩි කණුව අසලට කැඳවාගෙන ඒම සිදු විය.
ඉන් අනතුරුව මඟුල් බෙර වාදන හා සක් හඬ මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමෙන් පසු උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි.
අනතුරුව ජනාධිපතිවරයා විශේෂ පීඨිකාව අසලට කැඳවාගෙන යාම සිදු වූ අතර එහිදී පාසල් සිසු සිසුවියෝ 100 දෙනෙක් ජාතික ගීය ගායනා කළහ. එමෙන්ම පාසල් සිසුවියන් 25 දෙනෙකු විසින් ජයමංගල ගාථා සහ “දේවෝ වස්සතු කාලේන” ආශීර්වාදාත්මක ගාථා ගායනා කිරීම ද සිදු විය.
මාතෘ භූමියේ ස්වාධීනත්වයේත්, ස්වෛරීභාවයේත්, භෞමික අඛණ්ඩතාවයේත් තිර පැවැත්ම වෙනුවෙන් දිවි පිදූ සියලුම ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා  නිශ්ශබ්දතාවක් පැවැත්විණි.
ඉන්පසු ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම සිදු කෙරුණු අතර, ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් බව ලොවට පසක් ‍කරමින් 76 වන නිදහස් දින සැමරුම් පෙළපාළිය, ත්‍රිවිධ හමුදාව පොලීසිය,  සිවිල් ආරක්ෂක බළකාය  සහ ජාතික ශිෂ්‍ය භට බළකාය විසින් වර්ණවත් කළහ.
ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිය සහ උදාරත්වය විදහා දක්වමින් සිංහ ප්‍රතිමාව රැගත් රථය පෙරටු කර ගනිමින් යුද, නාවික, ගුවන් පොලිස් සහ සිවිල් ආරක්ෂක බළකාය සහ ජාතික ශිෂ්‍යභට බළකායට අයත් නිලධාරීහු ජාතික ධජ රැගෙන පෙළපාළියේ ගමන් කළහ.

ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ ද ඊට ඇතුළත් වූ අතර විශ්‍රාමික නිලධාරීන් 22 දෙනකු සහ ආබාධිත නිලධාරීන් 29 දෙනෙකු එහි ගමන් කරනු ලැබීය. ත්‍රිවිධ හමුදා තූර්ය වාදක පෙළපාළියක්ද ඊට ඇතුළත් විය.
ආචාර පෙළපාළිය අවසන් වන තුරුම පීඨිකාව මත රැදී සිටි ජනාධිපතිවරයා එහි ගමන් කළ සියලු රණවිරුවන් වෙත සිය ගෞරවය පිරිනැමීම ද විශේෂත්වයකි.
එමෙන්ම ශ්‍රී ලංකාව සතු ගුවන් ශක්තිය ප්‍රදර්ශනය කෙරෙන කෆිර් යානා ඇතුළු ගුවන් සන්දර්ශනයකින් ද මෙම අවස්ථාව වර්ණවත් වූ අතර ශ්‍රී ලංකාව සතු නාවික ශක්තිය ද අභිමානවත්ව ප්‍රදර්ශනය කෙරිණි.
ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නියෝජනය කරන පැරිෂුට් භටයන් තිස් දෙනකුගේ සහභාගිත්වයෙන් පැවති පැරෂුට් සන්දර්ශනයකින් සහ සංස්කෘතිකාංග රැසකින් මෙම උළෙල වර්ණවත් විය.
මේ අතර ශ්‍රී ලංකාවේ අභිමානවත් 76 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් වතිකානුවේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු, ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා, ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩ්න්,  රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්, චීන ජනාධිපති ෂී ජිංපින්,  දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල්, ඉන්දීය ජනාධිපති ද්‍රෟපදි මුර්මු, ලිබියානු ජනාධිපති ආචාර්ය මොහොමඩ් වයි. අල්-මෙන්ෆි, සිංගප්පූරු ජනාධිපති තර්මන් ශන්මුගරත්නම්, ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාර ජෙනරාල් ඩේවිඩ් හර්ලි යන මහත්වරු මෙන්ම පාකිස්ථාන ජනාධිපති, බංග්ලාදේශ ජනාධිපති සහ කුවේට් රාජ්‍යයේ එමීර්වරයා ඇතුළු රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහ ශ්‍රී ලංකා රජය වෙත සිය සුබපැතුම් පළ කර තිබිණි.
මහා සංඝරත්නය සහ සෙසු ආගමික පූජකවරු ද, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, 76 වන නිදහස් සැමරුම වෙනුවෙන් මෙරටට පැමිණි තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ එරට වාණිජ අමාත්‍ය ෆුම්තාම් වෙචයචායි මහතා ඇතුළු තායිලන්ත දූත පිරිස සහ  විදෙස් තානාපතිවරු හා මහකොමසාරිස්වරුන් ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම්, කැබිනට් ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු, රාජ්‍ය නිලධාරීහු සහ රණවිරුවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.