අද පැවැත්වෙන මැයි දින සැමරුම්

අද‍ට (01) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා මේ වනවිට දේශපාලන පක්ෂ සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව “රට හදන ජනබලය පෙළගැසෙන මැයි රැළිය” යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන මැයි දින රැළිය ගාලු මුවදොර පිටියේදී පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිතයි.

“රට දිනුමට කම්කරු බලය” යන තේමාව යටතේ සමගි සන්ධානයේ මැයි දින රැළිය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් තලවකැළේ ළිදුල නගර සභා පිටියේදී පස්වරු 2.00 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

“රැවටිල්ල ඉවසුවා ඇති, දැන් ඉතින් නැගිටිමු” යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන මැයි දින රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

එසේම “කම්කරුවා ව්‍යවසායකත්වය කරා” යන තේමාවෙන් සර්ව ජන බලය මෙවර මැයි දිනය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවී‍රගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කරන මැයි දින රැළිය කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ විසින් පවත්වනු ලබන මැයි දින උත්සවය පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ලෝක කම්කරු දිනය අදයි

ජාත්‍යන්තර කම්කරු දිනය අද‍ට (01) යෙදී තිබෙනවා.

ඒ අනුව 1886 වසරේ මැයි මස 01 වන දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්ව තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් දින කිහිපයක් පුරා විරෝධතාවල නිරත වු කම්කරුවන් ඉලක්ක කරමින් එල්ල වූ ප්‍රහාරයෙන් විශාල පිරිසක් මියයෑම සිහිපත් කරමින් ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සිදු කරන බවයි සඳහන් වෙන්නේ.

කම්කරුවන්ගේ එම අරගලය සිහිකරමින් 1889 වසරේ මැයි මස පළමුවන දින ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබුණා.

ඒ අනුව ලොව සෑම රටක්ම මැයි මස පළමු වන දින කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලි, රැළි ආදිය සංවිධාන කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

CEYPETCO ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමා තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු.06 කින් (නව මිල රු.293)

* පෙට්‍රල් 95 – රු.20 කින් (නව මිල රු.341)

* සුපර් ඩීසල් – රු.06 කින් (නව මිල රු.325)

* ඔටෝ ඩීසල් – රු.12 කින් (නව මිල රු.274)

* භූමිතෙල් – රු.05 කින් (නව මිල රු.178)

මිලියන 77ක වංචාවකට අත්අඩංගුවට ගත් සබරගමුව පළාත් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය හා හිටපු ලේකම් රිමාන්ඩ්

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සබරගමු පළාත් සභාවේ සහකාර අධ්‍යක්‍ෂකවරියක් සහ සබරගමු පළාත් සභාවේ අමාත්‍යාංශයක හිටපු ලේකම්වරයෙකු ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් නියෝග කර තිබෙනවා.

සබරගමු පළාතේ මාර්ග සහ ක්‍රිඩාංගණ ඇතුළු ව්‍යාපෘති 77කට අදාළව අසත්‍ය මිනුම් පත්‍ර සකසා, රුපියල් මිලියන 77ක වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟ හැර සිටි‍ සැකකාර සහකාර අධ්‍යක්‍ෂකවරිය පසුගිය 07 වැනිදා අත්අඩංගුවට ගෙන තිබූ අතර, සබරගමු පළාත් ලේකම්වරයා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට නීතිඥයෙකු මඟින් භාර වී තිබුණා.

එසේම ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ හිටපු කාර්මික නිලධාරිවරයෙක්, ලිපිකරුවකු සහ ලේකම්වරයෙකු ද මීට පෙර මෙම වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවයි පැවසෙන්නේ.

සබරගමු පළාතේ මාර්ග සහ ක්‍රිඩාංගණ ඇතුළු ව්‍යාපෘති 77 කට අදාළව මුදල් වෙන්කර ගෙන ඇතත්, ඒ සඳහා මාර්ග හෝ ක්‍රිඩාංගණ ඉදිකර නොතිබීම සම්බන්ධයෙන් සිදුකළ විගණන පරීක්ෂණයකින් මෙම වංචාව හෙළිවී ඇති අතර, 2016 සහ 2017 වර්ෂවලදී මෙම මාර්ග සහ ක්‍රිඩාංගණ ඇතුළු ව්‍යාපෘති 77ක් සිදුකර ඇතැයි අසත්‍ය ලේඛන ඉදිරිපත් කර මෙම මූල්‍ය වංචාව සිදුකර ඇතැයි සබරගමු පළාත් සභාව සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

පානදුර ඩිපෝව ජාතික තලයේ ඩිපෝවක් බවට පත්කිරීම අරමුණයි – චතුරංග

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ තෝරාගත් ඩිපෝ 25ක් සංවර්ධනය කර ජාතික තලයේ ආදර්ශ ඩිපෝවන් බවට පත් කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා.

මෙම ඩිපෝ සංවර්ධනය කර මගී ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම හා ඉහළ ආදායමක් ඉපැයීම මගින් ලාභදායී ආයතන බවට පත්කිරීම එහි අරමුණ බවයි ඊයේ (29) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පානදුර ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වන්නේ ඩිපෝව හරහා සිදුවන ක්‍රියාවලිය, එහි ආදායම් වැඩිකිරීම, වියදම් කළමනාකරණය සහ වෙනත් ආදායම් උත්පාදනය කර ගැනීමට ඇති අවස්ථා සොයා බලා, ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමට මූලික වීම බවද ඔහු ප්‍රකාශ කළා.

පානදුර බස් ඩිපෝව ක්‍රමානුකූලව සංවර්ධිත ඩිපෝවක් ලෙස පරිවර්තනය කරමින්, සමාජීය ප්‍රවාහන අවශ්‍යතාවයේ සාධනීය කොටස්කරුවන් බවට පත්කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදුකෙරෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මැතිවරණයට අදාළව අත්අඩංගුව‍ට ගත් අපේක්ෂකයින් සංඛ්‍යාව 33 දක්වා ඉහළට

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව, මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 33 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඊට අමතරව, පසුගිය මාර්තු 03 වැනිදා සිට අද (29) උදෑසන 6.00 දක්වා කාලය තුළ පක්ෂ ආධාරකරුවන් 152ක් සහ වාහන 32ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එසේම මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළ පැමිණිලි 349 ක් හා අපරාධමය පැමිණිලි 89ක් ද ලැබී ඇති බවයි පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

සත්සර නිමේෂ්ගේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි 16 වැනිදා

වැලිකඩ පොලිසිය මඟින් අත්අඩංගුවේ සිටියදී මියගිය සත්සර නිමේෂ් තරුණයාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි 16 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කර තිබෙනවා.

මෙම මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂිකරුවන් විසි දෙදෙනකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට අපේක්ෂා කරන බවත්, ඉන් සාක්ෂිකරුවන් පස්දෙනෙකුට මීළඟ දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන් පස්දෙනෙකුට ලබන 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

කේරළ ගංජා කිලෝ 322ක් උතුරු මුහුදේදී කොටුවෙයි

කන්කසන්තුරේ මුහුදු තීරයේදී කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයින් සිව් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් අවුරුදු 22, 39 හා 49 යන වයස්වල පසුවන, සක්කෝට්ටේ සහ ඇන්ටනීපුරම් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඩින්ගි බෝට්ටු දෙකක් පරික්ෂා කිරීමේ දී, පාර්සල් 147 ක තිබී කිලෝග්‍රෑම් 322 කට අධික මෙම කේරළ ගංජා තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය ප්‍රකාශ කර සිටියා.

ඉදිරි පැය 36 තුළ ඉන්දියාවෙන් හමුදා ප්‍රහාරයක් දියත් කරන බවට පාකිස්ථානයෙන් ‍චෝදනාවක්

ඉදිරි පැය 24-36 තුළ ඉන්දියාව විසින් පකිස්ථානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් කරන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු පකිස්ථානයට ලැබී ඇති බව පාකිස්තානයේ තොරතුරු අමාත්‍ය අතාවුල්ලා තරාර් පවසනවා.

ඉන්දියාවෙන් සිදුවන එවැනි ඕනෑම මිලිටරි වික්‍රමාන්විතයකට නිසැකවම සහ තීරණාත්මකව ප්‍රතිචාර දක්වන බවට පාකිස්තානය අවධාරණය කරන බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසා සිටියේ.

එමෙන්ම පාකිස්තානයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට සිය ජාතියේ ඇති අධිෂ්ඨානය නැවත අවධාරණය කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර ජම්මු-කාශ්මීරයේ පර්ගවාල් කොටසේ ජාත්‍යන්තර දේශසීමාව හරහා පකිස්ථාන හමුදාව ඊයේ (29) රාත්‍රියේ වෙඩි තැබූ බවත්, ඉන්දීය හමුදාව ද එයට ප්‍රතිචාර දැක්වූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පසුගිය අඟහරුවාදා ඉන්දීය ජම්මු-කාෂ්මීරයේ පෙහෙල්ගාම් හි සිවිල් වැසියන් පිරිසක් ඉලක්ක කරගෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූ අතර, 26 දෙනෙකුට මරු කැඳවූ මෙම ප්‍රහාරයත් සමඟ ඉන්දියාව හා පාකිස්ථානය අතර මතභේදාත්මක තත්ත්වය තවදුරටත් වර්ධනය වී තිබෙනවා.

news images

වර්ෂාව සමඟ ජලාශ 35ක් වාන් දමයි

වර්ෂාවත් සමග මහා පරිමාණ ජලාශ 22ක් මේ වනවිට වාන් දමමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ලුණුගම්වෙහෙර, වෙහෙරගල, මින්නේරිය හා කන්තලේ ඇතුළු වැව් හා ජලාශ ඒ අතර වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම මධ්‍ය පරිමාණ වැව් හා ජලාශ 13ක් ද වාන් දමමින් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.