සංචාරක උදාව 2025 ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සක්‍රීයව සම්බන්ධ වන මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන “සංචාරක උදාව 2025” ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (23) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ කෙරුණා.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය (SLTPB) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) එක්ව සංවිධානය කරන “සංචාරක උදාව” ප්‍රදර්ශනය අද (23) සහ හෙට (24) දෙදින තුළ පැවැත්වෙනවා.

මෙම ප්‍රදර්ශණය මෙරට සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම සංචාරක ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට තම භාණ්ඩ හා සේවා සඳහා වෙළෙඳපොළ අවස්ථාවන් හඳුනා ගැනීමට අනගි අවස්ථාවක් වනවා.

මෙම ප්‍රදර්ශනය වෙළෙඳ කුටි 250කින් සමන්විත අතර, හෝටල්, සංචාරක නියෝජිතයන්, ගුවන් සේවා සමාගම්, සංචාරක සේවා සපයන්නන්, අධ්‍යාපන ආයතන ඇතුළු ක්ෂේත්‍ර රැසක නියෝජිතයෝ ඊට එක්ව සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

ජල ගාස්තු ඉහළ දමන්නේ නැහැ – අනුර කරුණාතිලක

ජල ගාස්තු කිසි ලෙසකින් ඉහළ දැමීමේ අපේක්ෂාවක් නොමැති බව අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක පවසනවා.

ඒ අනුව පානීය ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් අමාත්‍යාංශ මට්ටමින් සිදු නොවුණු බවයි අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

අද (23) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය අනුර කරුණාතිලක මේ බව පවසා සිටියා.

සමහර විට රණවිරු සැමරුමේදී ජනපති කළ කථාවේදී එතුමාට වරදින්න ඇති – චාමර සම්පත්

ආණ්ඩුව ගෙන යාමට උනන්දුවෙන් කටයුතු කරන ආකාරයෙන්, නායකයාට වැරදි තැන් ද පෙන්වාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා.

ඒ අනුව රණවිරු සැමරුමේදී ජනාධිපතිවරයා සිදුකළ කථාවේදී ඇතැම්විට ඔහුට වරදින්නට ඇති බවත්, නායකයින් ඔලුවේ ප්‍රශ්න තබාගෙන එන විට වැරදීමට හැකි බවත්, අනෙකුත් මන්ත්‍රීවරුන්ද එම කතාවම ප්‍රකාශ නොකරන ලෙස ඉල්ලා සිටින බවයි අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඇතැම් මන්ත්‍රීවරුන් යුද්ධය අප විසින් ඉල්ලාගත් බවට හැ‍ඟවෙන ආකාරයේ ප්‍රකාශ සිදු කරන බවද, යුද්ධය ඉල්ලා ගත්තේ LTTE සංවිධානය විසින් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

එදා සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කාබනික පොහොර යෝජනාව ගෙනා ආ අවස්ථාවේ වටේ සිටි සියලුම ඇමතිවරුන් නායකයාට බියෙන් කට වසාගෙන එය අනුමත කරන විට, එයට විරුද්ධ වූ‍යේ තමන් පමණක් බවත්, අවසානයේ කඩිමුඩියේ එය ක්‍රියාත්මක කිරීමට යාමෙන් අරගලයක් පැමිණ, එක් මන්ත්‍රීවරයෙක්ට ජීවිතය ද අහිමිවූ බව ද ඔහු සඳහන් කළා.

නායකයා වැරදි දෙයක් කරනවා නම් එය පෙන්වා දී හරි මාර්ගයට ගැනීමට කටයුතු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වැඩිදුරටත් ප්‍රකාශ කළා.

පික් පොකට් ගහන එකා තමයි දුවන්නේ අන්න හොරා කියලා, JVP එකත් ඒ වගේ – නාමල්

ආයෝජකයෙක් ලංකාවට ගෙන ඒම පසෙකින් තබා, ලංකාවේ ඉන්නා ආ‍යෝජකයෙකු හෝ රැක ගැනීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

කර්මාන්ත ශාලා මුහුණදෙන ගැටලු ආණ්ඩුව හඳුනාගෙන නොමැති බවයි අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අදාළ කර්මාන්ත ශාලාවෙන් කොටසක් පමණක් වැසී ඇති ලෙසටත්, ඇඟලුම් කර්මාන්ත ශාලා පිළිබඳ ගැටලුවක් නැති බවටත්, අලුත් ඒවා ගෙන ආ හැකි ලෙසටත් සිදු කරන ප්‍රකාශ පක්ෂ සම්මේලනයට හොඳ බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ.

ආණ්ඩුව දැන් හෝ තමන්ගේ මහන්තත්තකම පැත්තක තබා, එම කර්මාන්ත ශාලාවේ සේවකයින්ට ඇහුම්කන් දිය යුතු බවත්, සේවකයා හා හාම්පුතා අතර ගැටලුවක් ඇත්නම් එය විසඳීමට ආණ්ඩුව මැදිහත්විය යුතු බවත් ඔහු පවසනවා.

ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටින විට සිදු කළේ ගින්න ඇවිලවීම බවද, නමුත් දැන් ඔවුන් ආණ්ඩුවේ නිසා ගින්න නිවීමට ඔවුන්ට සිදුවන බවද, ආණ්ඩුව මෙම ගැටලුවලට පිළිතුරු ලබාදිය යුතු බවද, මිනිසුන්ට සහ ආයෝජකයින්ට ඇහුම්කම් දිය යුතු බවද ඔහු සඳහන් කළා.

පික් පොකට් ගසන පුද්ගලයා ‘අන්න හොරා’ ලෙස ප්‍රකාශ කරමින් දිවයන බවත්, වත්මන් ආණ්ඩුවද ඒ ආකාරයේ එකක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් පත්කිරීම සම්බන්ධයෙන් එජාපයෙන් තීරණයක්

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

පළාත් පාලන ආයතන 161 ක සභිකයන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය හෙට

පළාත් පාලන ආයතන 161 ක සභිකයන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය හෙට (23) දිනයේදී නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ගැටලු පවතින සෙසු පළාත් පාලන ආයතන 178 සඳහා සභිකයන් නම් කර එවන ලෙස අදාළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දෙන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

ලබන ජුනි 02 වැනිදා වන විට පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීම සිදුකළ යුතු බවයි සඳහන් වන්නේ.

ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ඌව හා නැගෙනහිර යන පළාත් සහ හම්බන්තොට සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු සහ තද වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය පහතින්.

news images

2024 වසරේදී ලංකා බැංකුවේ ලාභය රුපියල් බිලියන 106ක් ඉක්මවයි

ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2024 වාර්ෂික වාර්තා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක වෙත පිළිගැන්වීම අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකර තිබෙනවා.

ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් යන අය විසින් අදාළ වාර්තා ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලද බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයක් හෝ බැංකුවක් ලබා ගත් ඉහළම ලාභය ලෙස, ලංකා බැංකුව විසින් 2024 වසරේදී රුපියල් බිලියන 106ක ලාභයක් උපයා ඇති බව ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මෙහිදී සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

හරක් කටාට පැනයාමට උදව් කළ පොලිස් කොස්තාපල්වරයා නඩුව අවසන් වන තුරු රිමාන්ඩ් කිරීමට නියෝග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු කොස්තාපල්වරයෙකු වන රවිදු සන්ධීප නමැත්තා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව මෙම නඩුව අද (22) මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවා ඇති අතර, එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත් බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම විත්තිකරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග අවසන් වී ඇති බවත්, ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15(2) වගන්තිය ප්‍රකාරව, මෙම විත්තිකරු නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා තිබෙනවා.

එම ඉල්ලීමට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විරෝධය පළ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

නමුත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර, මෙම නඩුව යළි ලබන 28 වැනිදා කැඳවීමට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ලක්ෂ පහක අල්ලසක් ලබාගත් OIC අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

පැමිණිලිකරු විසින් මිලදීගෙන ඇති ඉඩමකට අදාළව ඇති ආරවුලක් විසඳා සමථයකට පත්කර දීම වෙනුවෙන් හා පැමිණිලිකරුගේ ඉඩම් කටයුතු කරදරයකින් තොරව කරගෙන යෑමට අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් මෙම මුදල අල්ලසක් ලෙස ඉල්ලා ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊයේ (21) සවස පුවරසන්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ නිල රාජකාරි කාර්යාලයේ දී එම පොලිස් ස්ථානාධිපතිවරයාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.