මෙරට ආර්ථිකය 2018 තිබුණු තත්ත්වයට යන්න තවත් අවුරුදු දෙකක් තුනක් ගතවේවි – මහ බැංකුවේ සහකාර අධිපති

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2018 තිබුණු මට්ටමට පැමිණීමට තව වසර දෙකක හෝ තුනක කාලයක් ගත වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර පවසනවා.

ඒ අනුව 2019 – 2023 යන වසර පහක කාලය තුළ ධන ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත්තේ 2021 වසරේදී පමණක් බවත්, සෙසු සෑම වසරකදීම වාර්තා වන්නේ ආර්ථිකයේ සංකෝචනය වීමක් බවයි 2024 වාර්ෂික ආර්ථික විවරණයෙන් පිළිබිඹු වන ශ්‍රී ලංකා ආර්ථිකය මැයෙන් ඊයේ (27) කොළඹ මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති දේශනයෙන් අනතුරුව පැවති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය ‍හේතුවෙන් ආර්ථිකය ඉතා පහළ මට්ටමක පැවති බවද ඔහු ප්‍රකාශ කළා.

2018 වසරේ දී රු. ට්‍රිලියන 13.2ක් ලෙස පැවති මෙරට මූර්ත දළ දේශීය නිෂ්පාදිතය, 2023 වසර වන විට රු. ට්‍රිලියන 11.9ක් දක්වා අඩු වී ඇති බවත්, එය 2024 වසරේ දී රු. ට්‍රිලියන 12.5ක් දක්වා වර්ධනය වී ඇති බවත් ඔහු පවසා සිටියා.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීමට එරෙහි නඩුව සැප්තැම්බර් 08 දක්වා කල් තබයි

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ විධිමත් අනුමැතියකින් තොරව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් සැප්තැම්බර් මස 08 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සම් අද (28) ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවා තිබුණා.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම අභියෝගයට ලක්කරමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව නවයක් විසින් පෙත්සම් ඉදිරිපත් කරනු ලැබුවා.

අද මධ්‍යම රාත්‍රියේ සිට අපි සංකේත වැඩ වර්ජනයක් කරනවා – තැපැල් නිලධාරීන්ගේ සංගමය

දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අද (28) මධ්‍යම රාත්‍රියේ සිට එම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ සඳහන් කළේ.

එසේම කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සංකේත වැඩ වර්ජනය අද සවස 4.00ට ආරම්භ කරන බව විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රක‍ාශ කළා.

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

සක්‍රීය වී ඇති නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් හලාවත සිට පුත්තලම මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 පමණ දක්වා වැඩිවිය හැකි බවත්, එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසට නාවික හා ධීවර ප්‍රජාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එසේම හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා මෙන්ම, කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 පමණ දක්වා වැඩිවිය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකි බව සඳහන්.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

වසා දැමුණු NEXT ඇඟලුම්හල සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වේ

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි ‘NEXT’ ඇඟලුම් කම්හල හදිසියේ වසා දැමීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහගේ මැදිහත්වීමෙන් පවත්වා තිබෙනවා.

කම්කරු අමාත්‍යාංශයේ දී පැවති මෙම සාකච්ඡාව සඳහා අදාළ ඇඟලුම් කම්හලේ පාලනාධිකාරය, වෘත්තීය සමිති නියෝජිතයන් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් එක්ව ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව මෙම ඇඟලුම් කම්හල කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව වසා දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර, එසේ වසා දැමීමට තීරණය කළ යුත්තේ සේවකයන්ට පූර්ව දැනුවත් කිරීමක් සිදු කිරීමෙන් අනතුරුව බව මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

සේව්‍ය සේවක සාමූහික ගිවිසුමට අනුව පාලනාධිකාරය කටයුතු නොකිරීම ගැටලු සහගත බව වෘත්තීය සමිති නියෝජිතයන් එහිදී අවධාරණය කර තිබෙනවා.

අදාළ සාමූහික ගිවිසුම නීත්‍යානුකූල ලියවිල්ලක් ලෙස පිළිගැනීමට හැකියාවක් නොමැති බවට පාලනාධිකාරය සඳහන් කර ඇති අතර, මීට පෙර ප්‍රකාශ කළ පරිදි සේවය අහිමිවන සේවකයන්ට කම්කරු නීතියට අනුව ගෙවිය යුතු වන්දි මුදලට වඩා වැඩි මුදලක් ගෙවීමට තම සමාගම තවදුරටත් සුදානමින් පසුවන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

මෙහෙයුම් පිරිවැය අධිකවීමෙන් පසුගිය වසර කිහිපය පුරා දැඩි ලෙස පාඩු ලබමින් සිටීම හේතුවෙන් අකැමැත්තෙන් වුවද කටුනායක පිහිටි තම කර්මාන්ත ශාලාව පමණක් වසා දැමීමට සිදුවූ බවයි පාලන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

අනුදි Miss World තරගාවලියේ Multimedia Challenge තරගයේ අවසන් වටයට තේරී පත්වෙයි

Miss World තරගාවලියේ Multimedia Challenge තරගයේදී අවසන් වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකර සමත් වී තිබෙනවා.

ඒ අනුව මෙම තරග අංශය නි‍යෝජනය කරමින් ශ්‍රී ලංකාව අවසන් වටයට තේරීපත් වූ පළමු අවස්ථාව මෙයයි.

මෙම ජයග්‍රහණයත් සමඟ අනුදි ගුණසේකර fast-track අවස්ථා තුනකම අවසන් වටයට තේරී පත්ව ඇති අතර, මේ හේතුවෙන් ඇයට Miss World තරගාවලියේ ඉහළ ස්ථානයකට පත්වීමට ඇති හැකියාව ඉහළ යනු ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම ජයග්‍රහණය සඳහා Facebook, Instagram සහ Miss World යෙදුම යන සෑම අංශයක් සඳහාම ශ්‍රී ලාංකිකයින්ගෙන් ලැබුණු සෑම like, comment සහ share එකක්ම ඉවහල් වූ බවයි අනුදි ගුණසේකර වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ‍.

news images

ආණ්ඩුවේ සභාපතිලා නමෝ විත්තියෙන් සොරකම පටන් අරගෙන – ගම්මන්පිල

රජය විසින් පත් කරන ලද ආයතන සභාපතිවරුන් සොරකම් කිරීමට පටන්ගෙන ඇති බවට සාක්ෂි ලැබී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.

ඒ අනුව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා නිල වාහනය ලබා ගන්නවා වෙනුවට, තම පෞද්ගලික වාහනය භාවිතා කරමින් ප්‍රවාහන වියදම ලබාගෙන ඇති බවයි අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එය ගැටලුවක් නොවන බවද, නමුත් කාර්යාලයට පැමිණි පසු සංචිතයේ ඇති වාහන භාවිතා කරමින් ගමන් බිමන් යන බවද, ඔහුගේ පෞද්ගලික වාහනයට රියදුරෙක් ලබාදීම හා ප්‍රවාහන දීමනාව ලබාගන්නා අතරතුර සංචිතයේ වාහන භාවිතා කිරීම නීති විරෝධී බවද ඔහු ප්‍රකාශ කළා.

එම වාහනවලට අමතරව තවත් වාහනයක් සභාපතිවරයා විසින් සංචිතයෙන් ලබාගෙන ඇති බවත්, ඔහු විසින් වාහන තුනක් භාවිතා කරන බවයි උදය ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කළේ.

කිසිම දෙයක් හොරකම් නොකරපු මහින්දගෙන් අනුර කුමාර මැතිතුමා සමාව ගන්න – සාගර

රත්‍රං වැසිකිලි, රත්‍රං අශ්වයින් සිටි බවට සඳහන් කළ චෝදනා බොරුවක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

එම බොරුවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින්ට කිසිඳු සම්බන්ධයක් නොමැති බවත්, එය දිනෙන් දින ඔප්පු වෙමින් පවතින බවයි අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ ලේකම්වරයා සඳහන් කළේ.

අනුර කුමාර ජනාධිපතිවරයා ළඟ තිබෙන බවට සඳහන් කළ ෆයිල් මිටිය කවුරුන් හෝ පැහැර ගත්තාදැයි ඔහුගෙන් විමසා සිටින බවද, ඔහු ජනාධිපති ධුරයට පත්වී මාස හතකට වැඩි කාලයක් ඉක්මවා ගොස් ඇතත්, එම සිදුකරන ලද කිසිඳු චෝදනාවක් වෙනුවෙන් මෙතෙක් පරික්ෂණයක් හෝ ආරම්භ කර නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

මහින්ද රාජපක්ෂට චීනයෙන් මුදල් ලබාදුන් ගිණුම් අංක පවා අනුර කුමාර ජනාධිපතිවරයා සතුව ඇති බවට ප්‍රකාශ කළ බවත්, එම ගිණුම් අංක අදාළ බලධාරීන්ට ලබාදී නීතිමය වශයෙන් කටයුතු කරන ලෙසත්, එසේ නොවන්නේ නම් මේ රට යුද්ධයෙන් බේරාගත්, කිසිදු දෙයක් සොරකම් නොකරන ලද හිටපු ජනාධිපති මහින්ද රා‍ජපක්ෂගෙන් සමාව ගන්නා ලෙසයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ශ්‍රීලනිප කාර්යාලය සම්බන්ධ නඩුව විභාග කිරීම වළක්වාලමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල විසින් ශ්‍රීලනිප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ල විභාග කිරීම වළක්වමින් පැනවූ අතුරු තහනම් නියෝගය ජූලි 23 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (27) නියෝග කළා.

නිමල් සිරිපාල ද සිල්වා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණා‍.

මෙහිදී තිලංග සුමතිපාලගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට තම සේවාදායකයා තීරණය කර ඇති බවයි.

ඒ අනුව, නඩුව සමථයකට පත්කර ගැනීම සඳහා දිනයක් ඉල්ලා සිටි අතර, පෙත්සම නැවත ජූලි 23 වන දින කැඳවීමට අභියාචනාධිකරණය විසින් නියම කරනු ලැබුවා.

විශ්ව විද්‍යාලවලට අයදුම් කරන සිසුන්ට දැනුම්දීමක්

2024 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ සමත් සිසුන් 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගැනීම සඳහා වන අයඳුම්පත් කැඳවීම මැයි 30 මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

හැකි සෑම සිසුවෙකුටම අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත යොමුකරන ලෙස දැනුම් දෙන අතර, www.ugc.ac.lk නිල වෙබ් අඩවියට පිවිස සිය අයදුම්පත යොමුකළ හැකි බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.