මෙරට සිටින සියලුම විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර තිබෙනවා – වැඩබලන පොලිස්පති

මෙරට සිටින සියලුම විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව අද (23) විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය පැවසුවා.

එසේම ඒ සම්බන්ධයෙන් සියලුම තානාපති කාර්යාල දැනුවත් කර ඇති බවත් ජාතික ආරක්ෂාවට කිසිඳු තර්ජනයක් නොමැති බවයි ඔහු ප්‍රකාශ කළේ.

ආරුගම්බේ ප්‍රදේශය සම්බන්ධයෙන් වන බුද්ධි තොරතුර ඔක්තෝබර් 07 වනවිට ලැබුණු බවයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ.

ඒ අනුව යම්කිසි විදේශික ජාතිකයන් පිරිසක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවට වන බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් මීට සති 03 කට පෙර සිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා කළ බවත් ඔහු සඳහන් කළා.

විදේශිකයන්ගේ ආරක්ෂාව, ඔවුන් සිටින ස්ථානවල ආරක්ෂාව, ආගමික කටයුතු කරන ස්ථානවල ආරක්ෂාව, විශේෂ ආරක්ෂක සැලසුමක් යටතේ පොලීසිය, විශේෂ කාර්ය බලකාය හා බුද්ධි නිලධාරීන් එකතුවෙන් සැලසූ බවද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම නිශ්චිත තොරතුරු ලැබීම නිසා මෙම ආරක්ෂක කටයුතු ඊයේ (22) දිනයේ සිටම විශේෂිත වූ ආරක්ෂක සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කළ බවත් අද පෙරවරුවේද ආරක්ෂක කවුන්සිලය රැස්වූ බවත් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළා.

ජොන්ස්ටන් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සැක කටයුතු ලෙස නවතා තැබීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (23) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබුණා.

ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලයෙන් මෙර​ට සිටි​න ඊශ්‍රාය​ල සංචාරකයින්ට අනතුරු ඇඟවීමක්

ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

එය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ත්‍රස්තවාදී තර්ජනයක් ඇති බැවින් ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රදේශ කිහිපයකින් වහාම ඉවත්වන ලෙස දැනුම්දී ඇති බවයි.

ඒ අනුව එම අනතුරු ඇඟවීම වත්මන් තොරතුරු අනුව සංචාරක ප්‍රදේශ සහ වෙරළ තීරයන් කෙරෙහි අවධානය යොමු කරමින් ආරුගම්බේ සහ ශ්‍රී ලංකාවේ දකුණේ සහ බටහිර වෙරළ තීරයන්ට අදාළව නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය තර්ජනයේ නිශ්චිත ස්වභාවය සඳහන් කර නොමැති අතර ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවල සිටින ඊශ්‍රායල ජාතිකයින්ද අවධානයෙන් සිටින ලෙසයි දැනුම්දී ඇත්තේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

කොළඹ – හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී මෙරටදී එකලස් කරන ලද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ බවට සඳහන් BMW වර්ගයේ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.

ආරුගම්බේ ප්‍රදේශයේ සිටින ඊශ්‍රායල් ජාතිකයන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවට තොරතුරු ලැබී තිබුණා – පොලීසිය

ආරුගම්බේ ප්‍රදේශයේ සිටින ඊශ්‍රායල් ජාතිකයන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවට පසුගිය දින කිහිපයේ තොරතුරු ලැබී තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

ආරුගම්බේ ප්‍රදේශය ඊශ්‍රායල් ජාතිකයන්ගේ වැඩි සංචාරක ආකර්ශනයක් සහිත ප්‍රදේශයක් නිසා ඔවුන්ගේ ගොඩනැගිල්ලක් වැනි ස්ථානයක් පවතින බවයි පොලීසිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මීට අවශ්‍ය මූලික පියවර ගෙන, පසුගිය දිනවල මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම් සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ වන විට පියවර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් නිකුත් කෙරේ

අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (23) වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු ජෝන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ පෙනි සිට නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

BMW රථයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරයා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා.

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

ආරුගම්බේ හි සංචාරයෙන් වළකින ලෙස අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය ඇමරිකානු පුරවැසියන්ට සංචාරක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආරුගම්බේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ලවන බවට අනතුරු ඇඟවීමේ විශ්වාසනීය තොරතුරු ලැබී ඇති බවයි එම අනතුරු ඇඟවීමේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

නව දේශපාලන සංස්කෘතියක් පිළිබඳ ජනතාව තැබූ විශ්වාසය පලුදු නොකළ යුතුයි – ජනපති

පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී තිබෙනවා.

පළාත් සභා යටතේ සෞඛ්‍යය සහ අධ්‍යාපන සේවාවන් හි පවතින පුරප්පාඩු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර ඊට සාධනීය  විසඳුම් ලබාදීමටද මෙහිදී තීරණය වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පවතින සංක්‍රාන්තික කාලය තුළ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කිරීම සඳහා පළාත් සභාවලින් සිදුකළ හැකි උපරිම සේවාව ලබාදීමට කටයුතු කරන ලෙසයි ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (22) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාරවරු සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම සඳහා ලැබී තිබෙන ජනවරම පිළිබඳ සිහිපත් කළ ජනාධිපතිවරයා ජනතාව තැබූ එම විශ්වාසය පලුදු නොවන ක්‍රියාකරන ලෙසද මෙහිදී අවධාරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

67176541d548dpdf_page_0

6717654200ab1pdf_page_1

පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිල හෙළිදරව් කළ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා – සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විශ්‍රාමික විනිසුරු ඒ.එම්.ජේ. ද අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කරන බව ගරු සිරිල් ගාමිණී පියතුමා පවසනවා.

ඝාතන විමර්ශනයේ සාක්ෂි වසන් කිරීම හා විනාශ කිරීම පිළිබඳව අපරාධමය චෝදනා ලබා සිටින ප්‍රසන්න අල්විස්ගේ සොහොයුරිය වන ඒ.එම්.ජේ. ද අල්විස් මහත්මියව මෙම කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කිරීම හරහා ළබැඳියාවන් අතර ගැටුමක් මතුවන බවයි පියතුමන් සඳහන් කරන්නේ.

ඒ අනුව එවැන්නෙකු ප්‍රධානත්වය දැරූ කමිටුවක් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් අපක්ෂපාති සහ ස්වාධීන වාර්තාවක් ලෙස පිළිගැනීමට හැකියාවක් නොමැති බවයි සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් සඳහන් කළේ.

ගම්මන්පිලට ඕනේ ශානි, රවී මෙතැනින් ඉවත් කරන්න, ඒ වුවමනාවට අපි යටවෙන්නේ නෑ – කැබිනට් ප්‍රකාශක

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, පාස්කු කමිටු වාර්තාවක් උපුටා දක්වමින් අදාළ නිලධාරීන් දෙදෙනාව ඉලක්ක කරන්නේ ඔවුන් දෙදෙනා වර්තමානයේ දරන තනතුරු ඉවත් කරගැනීමේ අවශ්‍යතාවය මත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ අනුව රජය එම වුවමනාවට යටත්වීමට සූදානම් නොමැති බවයි අද (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා අපක්ෂපාති පරීක්ෂණයක් එම නිලධාරීන් දෙදෙනා අතීතයේ සිට සිදුකළ බවද, පාස්කු වින්දිතයින් පවා එම නිලධාරීන් දෙදෙනා අපක්ෂපාතී බව හොඳින් දන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එම වාර්තාවේ තවත් අය පිළිබඳව සඳහන් කර ඇති බවත්, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තවත් විවිධ අය පිළිබඳවද එහි නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.