සමස්ත පාසල් දරුවන්ට සහනයක් ලැබෙන පරිදි පාසල් උපකරණ සඳහා වන බද්ද අඩු කරන්න – ජෝසප් ස්ටාලින්

සමස්ත පාසල් දරුවන්ට සහනයක් ලැබෙන පරිදි පාසල් උපකරණ සඳහා වන බද්ද අඩු කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

අස්වැසුම ලබන ප්‍රතිලාභීන්ට රුපියල් 6500 ක දීමනාවක් ලබාදීමට රජය යෝජනා කර ඇති බවයි අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

කෙසේ නමුත් සිය යෝජනාව වන්නේ සියලුම පාසල් ළමුන්ට සහනයක් ලැබෙන පරිදි බදු අඩු කිරීමට කටයුතු කළ යුතු බව යැයිද ඔහු සඳහන් කළා.

අස්වැසුම ප්‍රතිලාභ ලබන පිරිසට පමණක් මෙම සහනය ලබාදීමට කටයුතු කළහොත්, සමස්ත පිරිසට එය නොලැබෙන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් සඳහන් කළේ.

දිගින් දිගටම භාණ්ඩ මිල ඉහළ ගියහොත්, ආහාර මිල ගණන් 25% කින් ඉහළ දමනවා – ආපනශාලා හිමියන්ගේ සංගමය

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල දිගින් දිගටම ඉහළ ගියහොත් ලබන සතිය වන විට 25% කින් ආපන ශාලාවල ආහාර මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

රජය අපහසුතාව පත් කිරීමට හෝ පාරිභෝගික ජනතාව සම්බන්ධයෙන්ද අපහසුතාවට පත් කිරීමට බලාපොරොත්තු නොවන බවත්, නමුත් මෙම සතියෙන් පසු මිල ගණන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි එහි සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ.

දිගින් දිගටම බඩු මිල වැඩි වන බවද, ඒවා සඳහා විසඳුම් ලබාදිය යුතු බවද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

විදුලි බල මණ්ඩලයේ යෝජනාව ගැන අවසන් නිගමනයකට එළැඹීමට මහජන අදහස් ලබා ගැනීමට තීරණයක්

සිය අධ්‍යයනය හා මහජන අදහස් උපයෝගී කර ගනිමින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළැඹෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

ඒ අනුව මේ වනවිට ඒ සම්බන්ධයෙන් වන අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇති බවයි එහි සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් සඳහන් කළේ.

තවත් සති දෙකකින් පමණ පසු මහජන අදහස් ලබාගැනීම ආරම්භ කරන බවද සභාපතිවරයා සඳහන් කළා.

පවතින විදුලිය ගාස්තු ලබන වසරේ මුල් මාස 06දී ද එලෙසම පවත්වා ගෙන යෑමට යෝජනා කරන බව, විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය යෝජනාව ඉදිරිපත් කරමින් පසුගිය සිකුරාදා දැනුම්දී තිබුණා.

සිරියානු කැරලිකරුවන් අගනුවරට ඇතුළුවීමත් සමඟ ජනපති රටින් පළායයි

සිරියානු කැරලිකරුවන් එරට ඩැමැස්කස් අගනුවරට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කැරලිකරුවන් ඊයේ (07) ඩැමැස්කස් අගනුවර ආසන්නයේ හොම්ස් නගරයේ ද සිය පාලනයට නතු කර ගැනීමට සමත්ව ඇති බවයි සඳහන් වෙන්නේ.

අගනුවරට තදාසන්න පෙදෙස් රැසක් කැරලිකරුවන්ගේ පාලනයට යටත් වී ඇති අතර  සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් පෞද්ගලික ගුවන්යානයකින් රටින් පළාගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

වසර 54ක් පුරා සිරියාවේ පැවති කෘෘර අසාද් පාලනය මේ වනවිට බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සතොස හරහා දෛනිකව අලෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව ලක්ෂ දෙකක් දක්වා ඉහළ දැමීමට පියවර ගන්නවා – වෙළඳ ඇමති

සතොස හරහා දෛනිකව අලෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව හෙට (09) සිට ලක්ෂ දෙකක් දක්වා වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන  අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

කොළඹ ඇතුලු නාගරික ප්‍රදේශවල සතොස ශාඛාවලින් එම පොල් මිලට ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රජය සතු වතුවලට අයත් පොල්, ලක් සතොස හරහා මෙලෙස පාරිභෝගිකයින්ට අලෙවි කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ.

උත්සව සමයේ ලබන ආහාර පාන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා – PHI සංගමය

උත්සව සමය නිමිත්තෙන් මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගර ආශ්‍රිතව අලෙවි කරනු ලබන ආහාර පාන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ක්ෂේත්‍ර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1750ක පමණ පිරිසක් මේ සඳහා අනියුක්ත කර ඇති බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

උත්සව සමය ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කරනු ලබන ආහාර සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය පිළිබදව ද මෙහිදී පරීක්ෂාවට ලක්කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

උත්සව සමයේදී හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් ලබා දීමට පියවර ගන්නවා – සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය

හිඟයකින් තොරව බිත්තර වෙළෙඳ පොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසනවා.

මේ වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල් 35-36ත් අතර අතර පවතින බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

රටේ ඉල්ලුම හා සැපයුම අනුව බිත්තරක මිල තීරණය වන බැවින් ඉදිරි උත්සව සමයේදී බිත්තර ඉල්ලුම වැඩි විය හැකි බවත් ඒ අනුව රුපියල් 45කට අඩුවෙන් බිත්තරයක සිල්ලර මිල පවත්වාගෙන යාමට අපෙක්ෂා කරන බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම වර්තමානය වනවිට සහල් නිවුඩු සහ බඩ ඉරිඟු මිල ඉහළ යාම හේතුවෙන් බිත්තරයක නිෂ්පාදන මිල ඉහළ ගොස් ඇති බවද ඔහු ප්‍රකාශ කළා.කුකුළු මස් නිෂ්පාදනයේ අතිරික්තයක් පවතින බැවින් මේ වන විටත් හිඟයකින් තොරව කුකුළු මස් වෙළෙඳ පොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව ඉන්දීය ධීවරයින් වර්ජනයක

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තම ධීවරයින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින් තමිල්නාඩු රාමේෂ්වරම් ප්‍රදේශයේ ධීවරයින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය බදාදා දිනයේ මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම මෙම වර්ජනයට ආසන්නතම හේතුව වී ඇති බවයි සඳහන් වෙන්නේ.

දිගින් දිගටම සිදුවන අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් ධීවර ප්‍රජාව තම ජීවිකාව සිදුකර ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවයි ඔවුන් සඳහන් කරන්නේ.

නව රජයක් පත්ව ඇති බැවින් සිය ගැටලු සදහා විසදුම් ලබාදෙන ලෙස රාමේෂ්වරම් ධීවර සංගම් ඉන්දීය රජයෙන් ඉල්ලා තිබෙනවා.

නාඩු තොග 225යි, සිල්ලර 230යි පිළිනොපදින අයට දැඩි ක්‍රියාමාර්ග ගන්නවා – ජනපති

නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස්  ලබාදී තිබෙනවා.

ඒ අනුව මේ පිළිබඳ ඉදිරි දින දහය තුළ අවධානයෙන් කටයුතු කරමින්,  ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා  පාරිභෝගික අධිකාරියට දැනුදී ඇති බවයි සඳහන් වෙන්නේ.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා සහල් ව්‍යාපාරිකයන්  සමඟ  ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (07) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අදාළ සහල් මිල ගණන් සහ නිවේදනය පහතින්.

* නාඩු සහල් 1kg – තොග මිල රුපියල් 225 යි, සිල්ලර මිල රුපියල් 230 යි

* සුදු කුකුළු සහල් 1kg – තොග මිල රුපියල් 215 යි, සිල්ලර මිල රුපියල් 220 යි

* ආනයනික නාඩු සහල් 1kg – සිල්ලර මිල රුපියල් 220 යි.

* සම්බා සහල් 1kg – තොග මිල රුපියල් 235 යි, සිල්ලර මිල රුපියල් 240 යි

* කීරි සම්බා සහල් 1kg – තොග මිල රුපියල් 255 යි, සිල්ලර මිල රුපියල් 260 යි

6754628a49044pdf_page_1 6754628a0f9bcpdf_page_0

පුරප්පාඩු වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා සනත් ප්‍රියන්ත සුමනසිරි නම් කරමින් ගැසට් නිවේදනයක්

පුරප්පාඩු වී පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා සනත් ප්‍රියන්ත සුමනසිරි යන අය නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරී රවින්ද්‍ර විජය කුමාර විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමෙන් එහි සභාපති ධුරයට පත්වූ ජාතික ජන බලවේගයේ නිශාන්ත පෙරේරා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ අතර, ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වීම හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා සභාපති ධුරය පුරප්පාඩු වුනා.

පුරප්පාඩු වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරය සඳහා නාගරාජා සාරා විනෝදනී නම් කරමින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරීවරයා විසින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.