වත්මන් ආණ්ඩුව අද පොල් සම්බෝලයි බතුයි සුඛෝපභෝගී ආහාරයක් කරලා – ගයන්ත

ආණ්ඩුවේ පළමු නිර්මාණය බවට පත්වූයේ හාල් සහ පොල් මිලදී ගැනීමට පෝලිමක් නිර්මාණය කිරීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසනවා.

ඒ අනුව වත්මන් ආණ්ඩුව හාල් සහ පොල් මිල හරහා සාමාන්‍ය මිනිසුන් ආහාරයට ගන්නා පොල් සම්බෝලය සහ බත සුඛෝපභෝගී ආහාරයක් බවට පත්කර ඇති බවයි අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

මේ සෑම දෙයක් හරහාම පෙන්නුම් කරන්නේ රජයට පවතින ගැටලු කළමණාකරනය කිරීමේ නොහැකියාව බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනේ

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡාව අග්‍රාමාත්‍ය නිල නිවස වන හයිද්‍රාබාද් මැදුරේදී  අද (16) පස්වරුවේ පවත්වා තිබෙනවා.

ඉන් අනතුරුව ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ ශක්‍යතා වර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම් ඉන්දු – ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින් ඉදිරියේ හුවමාරු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එසේම භෞතික, ඩිජිටල් සහ බලශක්ති යන කුළුණු තුන ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය දැක්වීමටද දෙරට අතර විදුලිබල ජාල සම්බන්ධතාවය සහ බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ අවධානය යොමු කර තිබෙනවා.

එමෙන්ම අනුරාධපුර දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය සහ කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආධාර ලබාදීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය අධ්‍යාපන සහයෝගිතාව යටතේ ලබන වසරේ සිට යාපනයේ සහ නැගෙනහිර පළාතේ විශ්වවිද්‍යාලවල සිසුන් 200 කට මාසික ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිත අතර ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ සිවිල් සේවකයන් 1500 කට ඉන්දියාවේදී පුහුණුව ලබාදීමට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කැමැත්ත පළ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමිව ඇති බව තමන් හොඳින් දන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී සිහිපත් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක පළමු විදෙස් සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම පිළිබඳ සතුටු වන බවයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

6760024b8ba59pdf_page_1 6760024b7f1a1pdf_page_0

ජාතිවාද භේද නොමැති පරිසරයක් නිර්මාණය කිරීම​ට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා – ඥාණසාර හිමි

ජාතිවාද භේද නොමැති පරිසරයක් නිර්මාණය කිරීම සඳහා හොඳ අවස්ථාවක් මේ වන විට ලැබී තිබෙන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පවසනවා.

යළි රට තුළ ජාතිවාදය හෝ ආගම්වාදය පවත්වාගෙන යාමට ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබූ බවයි අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අත් දෙකම ඔසවා අනුමත කරන බව ද, බිඳකින් හෝ බාධා නොකර ඊට ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදිය යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

ශ්‍රීලනිප සභාපති ධූරයට නැවත ඉදිරිපත් වෙන්නේ නෑ – මෛත්‍රී

මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් නොවන බව, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (16) අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව වත්මන් සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ ලේකම්වරයා සම්බන්ධයෙන් ඔහු විරුද්ධත්වයක් නොදක්වන බවයි සිය නීතිඥවරයා මාර්ගයෙන් හිටපු ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවා සමථයකට පත් කෙරුණා.

ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළෙඳපොළ මිල දර්ශකය ඒකක 14,500 සීමාව පසු කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (16) නැවත වතාවක් වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථමවරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය නිමාවන විට ඒකක 295 කින් සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉහළ ගොස්, එහි අගය ඒකක 14,500.44 ක් ලෙස සටහන් වී තිබුණා.

එසේම අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 8.27 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ශිෂ්‍යත්ව විභාගයට අදාළ පෙත්සම් විභාගය හෙටට කල්යයි

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කලින් ප්‍රශ්න තුනක් පිට වූ බව කියන පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් පවත්වන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා එම විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයට ගෙන තිබුණා.

ඒ අනුව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ බව කියන ප්‍රශ්න තුනට නිදහස් ලකුණු ලබාදීමට තීරණය කිරීම සඳහා පදනම් වී ඇති විද්වත් කමිටු වාර්තාව සකස් කර ඇත්තේ ඊට සම්බන්ධ සමස්ත ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කිරීමකින් තොරව බවයි.

ශිෂ්‍යත්ව විභාගය අතිශය තීරණාත්මක විභාගයක් බවත්, එම විභාගයේදී ලබාදෙන සෑම ලකුණක්ම ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ග්‍රාමීය ප්‍රදේශවල සිටින සිසුන්ට ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමට ඇති එකම මාර්ගය මෙය පමණක් බව සඳහන් කර තිබෙනවා.

මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිස්ටර් ජෙනරාල් විරාජ් දයාරත්න සඳහන් කළේ අධිකරණය මගින් කළ දැනුම්දීමකට අනුව අදාළ විද්වත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීමට කටයුතු කළ බවයි.

එම නිර්දේශයන්ට අනුව පිටවූ බව කියන ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බව ඔහු සඳහන් කළ අතර අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය හෙට දින තෙක් කල් තබා තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමේ නිල උත්සවය රාෂ්ට්‍රපතිභවන් හිදී පැවැත්වෙයි

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපතිභවන් හිදී අද (16) පෙරවරුවේ පැවැත්වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක අශ්වාරෝහකයන් පෙරටුකොට ගනිමින් රාෂ්ට්‍රපතිභවන් වෙත කැඳවා ගෙන ඒමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිං විසින් මහත් හරසරින් පිළිගෙන තිබුණා.

එහිදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආචාර වෙඩි මුර 21ක් පවත්වා ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගත් අතර, අනතුරුව ජනාධිපතිවරයා විසින් ඉන්දීය හමුදා ආචාර පෙළපාලියේ හරසර ද පිළිගත්තා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

675fe5b194a69pdf_page_0

නාමල් රාජපක්ෂගේ නීති උපාධිය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස CIDයට පැමිණිල්ලක්

නාමල් රාජපක්ෂ නීති උපාධිය ලබාගත් ආකාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වංචනිකව නීතිවේදී විභාගයට පෙනී සිට නීතිවේදී උපාධිය ලබාගෙන ඇති බවට අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති, ජාමුනි සමන්ත තුෂාර විසින් පැමිණිල්ල ඉදිරිපත් කරමින් සඳහන් කර සිටිනවා.

එදිනම නීතිවේදී විභාගය සඳහා පෙනී සිටි, මේ වනවිට විදේශගතව සිටිනා තරුණයෙකු විසින් එවකට නාමල් රාජපක්ෂ මහතා මෙලෙස වායුසමනය කළ තනි කාමරයක අසුන් ගෙන, විභාගයට පෙනී සිටීම සම්බන්ධව රටේ සියළුම වග කිවයුතු අංශ වෙත පැමිණිලි කර ඇතත් ඒ සෑම ස්ථානයකින්ම අදාල පැමිණිල්ල හෝ සටහන් කර නොගෙන එය ප්‍රතික්ෂේප කර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

පසුව අදාල තරුණයා පැහැර ගැනීම්වලට පවා ලක්වී ඇති අතර ජීවිත ආරක්ෂාව පතා රටින් පිටවී ඇති බවත්, මේ වනවිට එම තරුණයා ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙනා පරීක්ෂණ සඳහා සාක්ෂි ලබාදීමට සූදානමින් සිටිනා බැවින් එම සාක්ෂි ලබාගෙන විධිමත් පරීක්ෂණයක් සිදුකරනා ලෙසයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මීගොඩ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (14) රාත්‍රියේදී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලෙස වෙඩිතබා ඝාතනය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මියගොස් ඇත්තේ, 32 හැවිරිදි එක් දරු පියෙක් වන අතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදියර 1 යටතේ අද (15) පස්වරු 4 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, පස්සර, හාලිඇල, හපුතලේ, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගහ කෝරළය, රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.