සහල් මෙට්‍රික්ටොන් 67,000 ක් මෙරටට ආනයනය කෙරේ

සහල් ආනයනය සඳහා රජය ලබාදී තිබූ කාලය තුළ සහල් මෙට්‍රික්ටොන් 67,000 ක් මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ලබාදුන් කාලය තුළ මේ දක්වා සහල් මෙට්‍රික්ටොන් 67,000 ක් ආනයනය කර ඇති බවත්, ඉන් මෙට්‍රික්ටොන් 28,500 ක් කැකුළු සහල් වන අතර ඉතිරි මෙට්‍රික් ටොන් 38,500 නාඩු සහල් වන බවයි සඳහන් වෙන්නේ.

වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස, සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයට හා රජයේ ආනයනකරුවන්ට රජය අවසර ලබාදී තිබුණේ පසුගිය 20 වනදා දක්වා පමණක් වන අතර පසුව එය දීර්ඝ කිරීමට කටයුතු කළා.

මුහුදු ප්‍රදේශ ආශ්‍රිත අයහපත් කාලගුණය නිසා මාළු මිල ගණන් ඉහළට

මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සංගමය පවසනවා.

ඒ අනුව අද දිනයේ, ලින්නා කිලෝග්‍රෑමයක් රුපියල් 2200කටද, තලපත් කිලෝග්‍රෑමයක් ද රුපියල් 2200කටද, තෝරා කිලෝග්‍රෑමයක් රුපියල් 2500 කටද අලෙවි වන බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි පවසා සිටියා.

හැටන් ප්‍රදේශයේ බස් රථ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් මරුට

අද (21) උදෑසන හැටන් ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 03 දෙනෙකු මිය ගොස් 28 දෙනෙකු තුවාල ලැබුවා.

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්, හැටන් – මල්ලියප්පුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන, තේ වත්තකට පෙරලී යාමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.

මෙම අනතුරෙන් පිරිමි පුද්ගලයෙකු,  කාන්තාවක හා දරුවෙකු මරණයට පත්වී ඇති අතර, තුවාල ලැබූ අයගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින්, ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහලට යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුරට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.

Fitch ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව CCC+ වෙත උසස් කෙරේ

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවත්, මේ හේතුවෙන් ඔවුන් විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් සඳහා උසස්වීමක් ප්‍රකාශයට පත්කර ඇති බවත් ෆිච් රේටින් සමාගම පවසනවා.

ඒ අනුව දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC- (සෘණ) මට්ටමේ සිට CCC+ (ධන) මට්ටම දක්වා උසස් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සහ සාර්ව ආර්ථික දර්ශක සඳහා වූ ඉදිරි දැක්ම සම්පූර්ණ කිරීම මගින් දේශීය මුදල් ණය පැහැර හැරීමේ අවදානම අඩු වී ඇති බවයි ෆිච් රේටින් සමාගම පවසා සිටින්නේ.

නිල නිවේදනය

67663d316107e

පසුගිය දින දහයේදී සහල් වැටලීම් 578ක්

පසුගිය දින 10ක කාලය ඇතුළත සහල් සම්බන්ධ වැටලීම් 578ක් සිදුකර ඇති බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධව ස්ථාන කිහිපයකින් ලද පැමිණිලි අනුව දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන් යොදවා මෙම වැටලීම් සිදුකළ බවයි එම අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න බණ්ඩා පැවසුවේ.

පසුගිය දිනවල වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් පැවැතියද, ඒ සඳහා පිළියම් යොදමින් පවතින බැවින් මේ වන විට වෙළෙඳපොළ තුළ සහල් සුලභතාවය ක්‍රමානුකූලව වැඩිවන බවද ඔහු සඳහන් කර සිටියා.

සහල් ආනයනය සඳහා කාලසීමාව දීර්ඝ කර ඇති බැවින්, උත්සව සමයේදී හිඟයකින් තොරව සහල් සැපයීමට හැකියාව ලැබෙනු ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

පළාත් පාලන ඡන්ද විමසීම 2025 සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා – ජනපති

පළාත් පාලන ඡන්ද විමසීම ලබන වසරේ සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට බලාපොරොත්තුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීම සඳහා කැඳවූ නාම යෝජනා අහෝසි කිරීම සඳහා වන පනතක් සකස් කර ඇති බවත් එය ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඉන් අනතුරුව නැවත අලුතින් නාම යෝජනා කැඳවා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පොහොට්ටුවේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී.වී. චානක පත් කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී.වී. චානක මන්ත්‍රීවරයා තෝරාගෙන තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිවසේ අද (20) පැවති රැස්වීමකදී ඔහුව එම තනතුර සඳහා තෝරාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

නව ග්‍රාමීය නායකයින් සහ කොට්ඨාස නායකයින් පත්කිරීමේ සංවිධාන කටයුතු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දේශපාලනයට ඕනෑ අවංක භාවයයි, අධ්‍යාපන සුදුසුකම් නෙවෙයි – මහින්ද දේශප්‍රිය

දේශපාලනයට අවශ්‍ය වන්නේ අවංකභාවය මිස අධ්‍යාපන සුදුසුකම් නොවන බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.

නමුත් අධ්‍යාපන සුදුසුකම් ඇති බවට ප්‍රකාශ කළා නම් ඒවා පෙන්වීමට අවශ්‍ය බවයි අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ජනතාව තනතුරු බලා ඡන්දය ලබාදෙන බවට තමන් විශ්වාස නොකරන බවයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

අමාත්‍ය, ආචාර්ය උපාලි පන්නිලගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනුකර ඇති පෙත්සමේ එහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මහලේකම්, රුහුණ විශ්ව විද්‍යාලය සහ එහි උපකුලපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ උපාලි පන්නිලගේ අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කරන අවස්ථාවේදී ඔහු රුහුණ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි බවට තොරතුරු ලැබී තිබෙන බවයි.

රජයේ සේවයේ නිරතව සිටියදී මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාව යටතේ නීතියට පටහැනි බවත්, එය පාර්ලිමේන්තුවට තේරීපත්වීමට නුසුදුසුකමක් බවත් පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි පෙත්සමෙන් ඉල්ලා තිබෙන්නේ.

රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතිනවා – ජනපති

අප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කරගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අප රටේ පවතින රාජ්‍ය ආයතන පිළිබඳව යළි විමර්ශනය කිරීමට පත්කළ නව කමිටුව මගින් දේශපාලනිකව සිදුවන බලපෑම පිළිබඳ නොතකා, ඒවා පිළිබඳ තීරණ ගැනීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ නාරාහේන්පිට ‘නිල මැදුර’ ගොඩනැගිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (20) පැවති දිස්ත්‍රික් ලේකම්/ දිසාපති සමුළුව අමතමින්.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

67654781ec307pdf_page_1 67654782ae293pdf_page_2 67654780f08aapdf_page_0