ප්‍රියන්ත මායාදුන්නේ ඇප මත මුදා හැරීමට නියෝග

අත්අඩංගුවට ගත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්නේ ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔහු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

2011 වසරේදී ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීම වෙනුවෙන් කුරුණෑගල පවත්වා ඇති ඉසුරු සවිය නම් සැමරුම් උත්සවය සඳහා සමූපකාර අරමුදලින් මුදල් වැය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර තිබුණා.

ඒ අනුව හි විමර්ශන උදෘත නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා තිබූ බවත් ඒ අනුව ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ.

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට කටයුතු කර ඇති බව ලංකා සතොස ආයතනය පවසනවා.

ඒ අනුව ලොකු ළූණු, පාන්පිටි, සුදු සීනි, රතු පරිප්පු හා රතු කැකුළු සහල් මිල මෙලෙස අඩු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව මෙම මිල අඩු කිරීම අද සිට දිවයින පුරා සතොස අලෙවිසැල් වලින් ලබා ගත හැකි බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ මිල දර්ශනය පහතින්.

SL vs AUS 1st Test: ඔස්ට්‍රේලියාව ලකුණු 654 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවයි

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 654 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

පන්දුවට පහරදීමේදෟ ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Usman Khawaja ලකුණු 232 ක්, නායක Steven Smith ලකුණු 141 ක් හා Josh Inglis ලකුණු 102 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය හා ජෙෆ්රි වෙන්ඩසේ කඩුලු 3 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම් අත්අඩංගුවට

හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මයාදුන්නේ අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර තිබූ බවයි සඳහන්  වෙන්නේ.

2011 දී සිදු කරන ලද මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රියන්ත මායාදුන්නේ පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග වැඩිදුරටත් සඳහන් කළේ.

මෙරට සැඟවුණු වත්කම් සොයාගැනීමට එක්සත් ජාතීන්ගේ සහයෝග​ය

රජය බලාපොරොත්තුවන සැඟවුණු වත්කම් සොයාගැනීමේ කාර්යය සඳහා සහයෝගය ලබාදීමට තම ආයතනය සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය ගොඩනැගීමේ කොමිසම සමග ශ්‍රී ලංකාව සමීපව කටයුතු කිරීමේ වැදගත්කම පැහැදිලි කර ඇති අතර, දූෂණ වංචා වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සම්පූර්ණ සහාය දීමට සූදානම් බවයි එහි නේවාසික සම්බන්ධීකාරක Marc-André ප්‍රකාශ කර තිබෙන්නේ.

එහිදී ශ්‍රී ලංකාව විසින් ශ්‍රී ලංකා සමුද්‍ර තීරයේ දී බේරාගත් රෝහින්යා සරණාගතයින්ට මානුෂික අයුරින් සලකන ලද ආකාරය ඔහුගේ ප්‍රශංසාවට ලක්ව ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වසර අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ප්‍රකාශ කර තිබෙනවා.

නව රජය විසින් බලාපොරොත්තු වන සැඟවුණු වත්කම් සොයාගැනීමේ කාර්යය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනවල සහය ලබා දීමට සූදානම් බවයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමඟ පැවති සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ.

වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදීම අද සිට සිදු කෙරේ

ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

ඒ අනුව වගා හානි සිදුවූ ගොවීන්ගේ ගිණුම්වලට අදාළ මුදල් බැර කිරීමට පියවර ගන්නා බවයි එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි සඳහන් කළේ.

පොළොන්නරුව, මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල අක්කර 13,379 ක් සඳහා අද මෙම ගෙවීම් සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම​ට ඕස්ට්‍රේලියාව පරදවා තියුණු ජයක්

වයස අවුරුදු 19 පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමඟ පැවති තරගයෙන් ලකුණු 12 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 99 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 87 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමුදි ප්‍රබෝධා, ප්‍රමුදි මෙත්සරා, අසේනි කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වූ අතර ලිමන්සා තිලකරන්න එක් කඩුල්ලක්, උඩ පන්දුවක්, දුවද්දී දැවී යාමක් හා ලකුණු 6 ක් ලබා ගනිමින් තරගයේ වීරයා බවට පත්වුණා.

කෙසේ නමුත් සුපිරි හය වටයේ පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවී තිබෙනවා.

යුක්තිය ජයගනු ඇති බවට විශ්වාසයි – නාමල්

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකිරිම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ X පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මේ හරහා ප්‍රදර්ශනය කෙරෙන්නේ ආණ්ඩුවේ අසාර්ථකත්වය බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

වත්මන් රජය රාජපක්ෂ පවුලට එරෙහිව දේශපාලන දඩයමක් දියත් කර ඇති බවත් අධිකරණය කෙරෙහි විශ්වාසයෙන් සිටින අතර යුක්තිය ජය ගනු ඇති බවට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ X පණිවිඩය පහතින්.

6799fae920076

අර්ච්චුනා රාමනාදන් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය ප්‍රදේශයේදී ඔහු මෙලෙස අතඅඩංගුවට ගෙන ඇති බවත් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.

අනුරාධපුර ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ළමා ගැබ්ගැනීමේ සිදුවීම්වල ඉහළ යාමක්

2024 වසරේදී ළමා ගැබ්ගැනීමේ සිදුවීම්වල ඉහළ යාමක් පෙන්නුම් කරන බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර පවසනවා.

ඒ අනුව කළේ 2023 වසරේ ළමා ගැබ් ගැනීම් 167 ක් වාර්තා වූ අතර එය 2024 දී සිද්ධීන් 213 ක් දක්වා වර්ධනය වී ඇති බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඇය සඳහන් කළේ.

ළමා අපයෝජන සිදුවීම්ද 2023 වසරේ දී සිද්ධීන් 1,237 ක් හා 2024 වසරේ දී සිද්ධීන් 1,254 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිනිය ප්‍රකාශ කළා.

මෙහිදී ගැබ් ගැනීමට ලක්වන දරුවා සහ ඉපදීමට සිටින දරුවාද වින්දිත තත්ත්වයට පත්වෙන බවත් බොහෝවිට අධ්‍යාපන කේෂ්ත්‍රයෙන් එම දරුවන් ඉවත්වන නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.