වැටුප ගන්නේ නැත්නම්, කැන්ටිමෙන් කන්නේ, නිවාසයේ කුලිය ගෙවන්නේ කොහොමද කියලා රටට හෙළි කරන්න – ප්‍රසාද් සිරිවර්ධන

පාර්ලිමේන්තු වැටුප නොගන්නා බවට ප්‍රකාශ කළ ආණ්ඩුව ගෙවුනු මාසයේ වැටුපට සිදු කළේ කුමක්ද යන්න රටට හෙළි කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වැටුප් ලෙස රුපියල් 54,000 ක් ලැබෙන අතර, ඉන්ධන දීමනාව ලෙස රුපියල් 100,000 ට ආසන්න මුදලක්, කාර්යාල දීමනාව රුපියල් 100,000 ක්, දුරකථන දීමනාව 50,000 ක් සහ සංග්‍රහ දීමනාව ලෙස රුපියල් 1000 ක් ආදී ලෙස ලැබෙන බවයි අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව වැටුප් ලබා ගැනීමකින් තොරව පාර්ලිමේන්තු ආපන ශාලාවෙන් ආහාර ලබාගන්නේ කෙසේද සහ මන්ත්‍රී නිවාසයේ කුලිය ගෙවන්නේ කෙසේදැයි ආණ්ඩුව විසින් රටට ප්‍රකාශ කළ යුතු බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

සුපිරි ඩීසල් මිල ඉහළට

ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව සුපිරි ඩීසල් මිල රුපියල් 18 කින් වැඩි කිරීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 331 ක් ලෙසයි සඳහන් වෙන්නේ.

අනෙකුත් මිල ගණන් නොවෙනස්ව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

679cde5d8f064

රේගු ඉතිහාසයේ කිසිදු දිනක එක පුද්ගලයෙකුට බහාලුම් 323 ක් ඇවිත් නෑ – රේගු නිලධාරීන්ගේ සංගමය

එක පුද්ගලයෙකුට අයත් බහාලුම් තොගයක් මුදා හැර ඇති බවට එල්ලවන චෝදනා පදනම් විරහිත බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව පවසනවා.

ඒ අනුව පරික්ෂා කිරීමකින් තොරව මුදාහරින ලද බහාලුම් විවිධ පාර්ශවලට අයත් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

රේගු ඉතිහාසයේ කිසිදු දිනක එක පුද්ගලයෙකුට බහාලුම් 323 ක් ලැබී නොමැති බවයි රේගු නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එයාලා එකතුවෙන්නෙ පරීක්ෂණ නවත්තන්න, දූෂිතයන්ට දඬුවම් ලබාදීමට කටයුතු කරනවා – ජනපති

රටේ දරුවන්ට යළි ගැටුම්කාරී රටක් නිර්මාණය කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ආරවුල් ඇති කර ගනිමින් රටක් ඉදිරියට ‌ගෙන යාමට නොහැකි බවත්, රටක් ඉදිරියට යන්නේ ජාතීන් අතර සමගියක් නිර්මාණය වුවහොත් පමණක් බවයි අද (31) යාපනය ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව වත්මන් ආණ්ඩුව ජනතාව අතර සමගිය නිර්මාණය කිරීමට විශාල වෙහෙසක් ගන්නා බවත්, ජනතාව අතර ජාතිවාදයක් නොමැති බව පසුගිය මැතිවරණවල ප්‍රතිඵලයන්ගෙන් තහවුරු වූ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

හොරකම් කරන ලද පුද්ගලයින්ට දඬුවම් ලබාදිය යුතු බවත්, එලෙස හොරකම් කරන ලද පුද්ගලයින්ට දඬුවම් ලබාදෙන ආණ්ඩුව වන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

පසුගිය මැතිවරණයේදී විවිධ වේදිකාවල සිටි පිරිස් මේ වන විට එක්වීම සඳහා සාකච්ඡා පවත්වන බවත්, ඔවුන් එක්වීමට කටයුතු කළද ජනතාව සහ වත්මන් ආණ්ඩුව එකට සිටිනතාක් ඔවුන්ට එය සිදුකළ නොහැකි බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඔවුන් එකතු වී උත්සාහ කරන්නේ සිදුවන පරීක්ෂණ නැවැත්වීමට හා දඬුවම් ලබාදීම වැළැක්වීමට බවත්, උඩින් ඔවුන් එකතු වුවද ජනතාව එකතු වී සිටින්නේ වත්මන් ආණ්ඩුව සමඟ නිසා දූෂිතයින්ට දඬුවම් ලබාදීම අනිවාර්යයෙන් සිදු කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අපේ පාර්ලිමේන්තු වැටුප යන්නේ පක්ෂ අරමුදලට – දේවානන්ද සුරවීර

පාර්ලිමේන්තුවෙන් ලබා ගන්නා වැටුප ජාතික ජන බලවේගයේ පක්ෂ අරමුදලට යොමු කරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් 160 දෙනාම සිය වැටුප් පක්ෂ අරමුදලට යොමු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තමන්ට ආහාර ලබාදීම සිදු කරන්නේ ජනතාව විසින් බවත්, තමන්ට ගැටලුවක් වී ඇත්තේ වාහනය සඳහා ඉන්ධන සහ දුරකථන ගාස්තු සඳහා වන වියදම් පමණක් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ඒ සඳහා පක්ෂයෙන් උදව් කරන්නේ නම් එය භාර ගන්නා බවත්, පක්ෂය විසින් පක්ෂයේ පිරිස් රැක බලා ගන්නා සංස්කෘතියක් සිය පක්ෂය තුළ ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර රාත්‍රී තැපැල් දුම්රිය අද සිට යළි ධාවනයට

කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර රාත්‍රී තැපැල් දුම්රිය අද සිට යළි ධාවනයට එක් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙම දුම්රිය යළි ධාවනයට එක් කෙරෙන්නේ වසරකට පමණ පසුව බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ.

උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීම හේතුවෙන් කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර දුම්රිය ධාවනය නතර කර තිබුණා.

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ පෙත්සම විභාගයට නව විනිසුරු මඩුල්ලක් පත් කෙරේ

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීම සඳහා නව පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙනවා.

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී තමන්ව විත්තිකරුවෙකු වශයෙන් නම් කර නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව බල රහිත කරන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම පෙත්සම විභාග කරන පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අමල් රණරාජා මහතා ඉකුත්දා එම නඩු විභාගයෙන් ඉවත්වන බව දැනුම් දී තිබූ අතර, ඒ අනුව අදාළ පෙත්සම විභාග කිරීම සඳහා මායාදුන්නේ කොරයා, පී කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබුණා.

එම නව විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම පෙබරවාරි මස 07 වනදා කැඳවීමට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ලබාදීමට 1997 කෙටි දුරකථන අංකය පොලීසිය විසින් හඳුන්වාදෙයි

අපරාධකරුවන් පිළිබඳ තොරතුරු, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධව පොලීසිය දැනුවත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විසින් විශේෂ කෙටි දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව තොරතුරු ලබා දෙන්නාට තමන්ගේ අනන්‍යතාවට ප්‍රකාශ කිරීමකින් තොරව පොලීසිය වෙත තොරතුරු ලබා දිය හැකි බවත්, ඒ සඳහා 1997 කෙටි දුරකථන අංකය හඳුන්වා දී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

පොලීසිය වෙත ලබා දෙන තොරතුරු නැවත එම අපරාධකරුවන් සහ නීති විරෝධී ක්‍රියාවන් සිදුකරන්නන් වෙත ලැබෙන බවට මහජනතාව තුළ ඇතිව තිබෙන සැකය මත මෙම දුරකථන අංකය හඳුන්වා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

679cbbf6dd8aapdf_page_0

මහින්ද රට බංකොලොත් වුන වෙලාවේ තමයි මිලියන හත් අටසීයක් වියදම් කරලා ඔය ගෙදර හැදුවේ – එස්.බී දිසානායක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවස දේශපාලන කටයුතුවලට ඔහු විසින් සකස් කරගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසනවා.

එම නිවස මිලියන 700 ක් 800 ක් වියදම් කර සෑදුවේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වූ කාලයේදී බවත් ඒවා එතරම් හොඳ වැඩ නොවන බවයි අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කලේ.

ඔහුට නිවසක් අවශ්‍ය බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද ආණ්ඩුව අවධානය යොමු කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළා.

පසුගිය ආණ්ඩුවල මැති ඇමතිවරුන් හොරකම් සිදුකළා මෙන් වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හොකරම් සිදු නොකරනු ඇති බවට ලබාපොරොත්තු වන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ ජංගම දුරකථනය රස පරීක්ෂකට

අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනිගේ දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කර තිබෙනවා.

ඒ මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

සැකකරු භාරයේ තිබී සොයාගත් ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා ඇති අතර ඒ සඳහා අවසර ලබාදෙමින් අදාළ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝග කර තිබෙනවා.

ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටුවක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.