ඇප ලැබුනත් රාජිත රෝහලේ

Rajitha bail
රක්‍ෂිත බන්ධනාගාරගතව සිට ඇපමත මුදා හැරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න තවදුරටත් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන වාර්තා වෙනවා. අද දිනයේදී ඔහු වෙනත් රෝහලකදී තවත් වෛද්‍ය පරීක්‍ෂණයකට පෙනී සිටීමටද නියමිතව සිටියත් එම වෛද්‍ය පරීක්‍ෂණය අද සිදු නොකෙරුණු බව සදහන් වෙනවා.
කෙසේවෙතත් හෙට දිනයේ එම වෛද්‍ය පරීක්‍ෂණය හිටපු අමාත්‍යවරයා දැනට නේවාසිකව සිටින රෝහලේදීම සිදු කිරීමට නියමිත බව සදහන් වෙනවා
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න චෝදනා ලබා සිටින්නේ ඉකුත් ජනාධිපතිවරණ සමයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සුදුවෑන් යොදා ගනිමින් සිදු කෙරුණු බව කියන අපරාධ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයන්ට අදාළවයි. රෝහලගතව සිටියදීම ඔහු අත්අඩංගුවට ගැණුනු අතර රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ තවදුරටත් එම රෝහලේම නේවාසිකව සිටියා.
ඔහු අද ඇප මත මුදා හැරුණේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02 ක් මෙහිදී හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් නියම කෙරුණා. ඔහුට විදෙස් ගමන් තහනමක් ද පැනවූනු අතර ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගැනීමටයි වැඩිදුරටත් නියෝග කෙරුණේ.