දිවයින පුරා එච් 1 එන් 1 කාණ්‌ඩයට අයත් ඉන්ෆ්ලුවන්සා උණක් පැතිරෙයි

Flu-H1N1-Virus-

දිවයින පුරා මෙම දිනවල පැතිර යන එච් 1 එන් 1 කාණ්‌ඩයට අයත් ඉන්ෆ්ලුවන්සා උණ, ඩෙංගු හා ඩෙංගු රෝගයට සමාන වෛරස්‌ උණ රෝගයක්‌ හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට බාධා පැමිණ තිබේ.

එච් 1 එන් 1 බවට සැක කෙරෙන වෛරස්‌ උණ රෝගයක්‌ පැතිර යැම නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලු පීඨයන්ද (03 ) වසා දැමුණු අතර පසුගියදා රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක්‌ද වෛරස්‌ උණ රෝගයක්‌ පැතිර යැම නිසා වසා දැමිණි.

දිවයින පුරා උතුර නැගෙනහිරද ඇතුළුව බොහෝ ප්‍රදේශවල මෙම උණ රෝගයන් පැතිර යමින් පවතින බව වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.

මධ්‍යම පළාත තුළ පැතිර යන එච් 1 එන් 1 ඉන්ෆ්ලුවන්සා උණ රෝගය හේතුවෙන් මේ වන විට ගැබිනි මවක්‌ ඇතුළු 17 දෙනකු මිය ගොස්‌ ඇති බව අනාවරණය වී තිබේ.

දිවයින පුරා රෝහල් ගණනාවක මෙම උණ රෝගයන්ට ගොදුරු වූ රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින අතර සෑම ප්‍රධාන රෝහලකම පාහේ පැතිර යන එච් 1 එන් 1 ඉන්ෆ්ලුවන්සා උණ රෝගයට ගොදුරු වූවන් වෙනුවෙන් විශේෂිත වාට්‌ටු පවත්වාගෙන යන බව රෝහල් බලධාරීහු පවසති.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්‌ථානය වෙත ඉකුත් සිකුරාදා සිසුන් 250 ක්‌ පමණද ඊයේ දිනයේ පන්සියයකට (500 කට) අධික පිරිසක්‌ද මෙම ඉන්ෆ්ලුවන්සා උණ රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණ තිබූ අතර රෝගය විශ්වවිද්‍යාලය තුළ පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් ඊයේ සවස නැවත දැනුම් දෙන තුරු විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල, අධ්‍යයන කටයුතු අත්හිටුවීමට තීරණය කළ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පැවැසීය.

විශ්වවිද්‍යාලයේ සිසු නේවාසිකාගාරවල නේවාසිකව සිටින සිසුන් හාරදහසක පමණ සංඛ්‍යාවෙන්a සියයට තිහකට මෙම උණ වැළඳී ඇති බව අනාවරණය වී තිබේ.

එච් 1 එන් 1 ඉන්ෆ්ලුවන්සා උණ සාමාන්‍ය සෘතුමය (සීසනල්) උණ රෝගයක්‌ සේ සැලැකෙන අතර එහි ප්‍රධාන රෝග ලක්‍ෂණයන් වනුයේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත දරුණු ආසාධනයත් සමඟ සෙන්ටිග්‍රේඩ් අංශක 38 ට වැඩි උණ, කැස්‌ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්‍ෂණයි.