ශ්‍රීලනිපය හා එජාපය එක්ව ආණ්ඩු කළත් පළාත් සභාවල එවැනි තත්ත්වයක් බිහි කිරීමේ අදහසක් නෑ

Mahinda-r-46

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පළාත් ප්‍රධාන මහ ඇමතිවරුන් අතර 22 වනදා පැවති සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වී ඇත. ඉදිරි පළාත් පාලන මැතිවරණය තේමාකර ගනිමින් මෙම සාකච්ඡාව පැවති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ නොවී සමගිව ඒ සදහා ඉදිරිපත් විය යුතු බවට එහිදී ප්‍රධාන මහ ඇමතිවරුන්ගේ පාර්ශවයෙන් යෝජනා කර ඇත.

Mahinda-r-46
නමුත් එහිදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ වත්මන් පක්ෂ සභාපතිවරයාගේ හැසිරීමෙන් සහ ක්‍රියාකලාපයෙන් ඔහුට එවැනි අවශ්‍යතාවක් ඇති බව නොපෙනෙන බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පිළි ගන්නා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පැහැදිලි තීන්දුවක් මෙන්ම පක්ෂය ගැන තීන්දු තීරණ ගැනීමේ හැකියාව ඇති පිරිස්වල ද සහභාගීත්වයෙන් මෙවැනි සාකච්ඡාවන් පවත්වන්නේනම් සාකච්ඡා සාර්ථක විය හැකි බවද හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය පෙන්වා දී ඇත.
හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් සභා මැතිවරණවලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරනු ලැබුවේ එම ජනාධිපතිවරයා නිසා බැව් පෙන්වා දුන් මහ ඇමතිවරු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ආණ්ඩු පිහිටුවා ඇතත් පළාත් සභා තුළ එවැනි තත්ත්වයක් බිහි කිරීමේ අදහසක් නොමැති බවයි.
මෙහිදී හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ඉදිරිපත් වූ යෝජනා සහ අදහස් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව දැනුවත් කරන බව දකුණු පළාත් සභා මහ ඇමති ශාන් විජේලාල් මහතා මාධ්‍ය හමුවේ පවසා ඇත. එසේම ඉදිරියේදී නැවතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා පැවැත්වීමට මහ ඇමතිවරුන් තීරණය කළ බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කර ඇත.