රට කාපු සෙට් එකම ඉන්නේ රනිල් එක්ක – නලින්ද ජයතිස්ස

රට විනාශ කළ සියල්ලන්ම සිටින්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

කළින් දෙගොල්ලන් දෙකට බෙදී සිටියත් මේ වන විට සියලු දෙනා එකතුවී රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් වැඩ කරන බවයි ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.

ජනාධිපති ධූර කාලය සම්බන්ධයෙන් නඩුව පැවරූ ව්‍යාපාරික ලේනව පිටුපස සිටින්නේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

කදිරවේලු කුගදාසන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

ත්‍රිකුණාමලය පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු සම්මුගම් කුගදාසන් මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා.

ඒ දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන්ගේ අභාවයෙන් පුරප්පාඩුවූ පාර්ලිමේන්තු අසුන සඳහායි.

පොලිස්පති, මුද්‍රණාලාධිපති සහ තැපැල්පති අද මැතිවරණ කොමිසමට කැඳවයි

ජනාධිපතිවරණයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා පොලිස්පතිවරයා රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා අද (09) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණයට අදාළ මූලික කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් අදාළ පාර්ශව මැතිවරණ කොමිසම වෙත කැඳවා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය ලබන 17 වන දිනෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවට හිමිවන අතර ඊට පෙර ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන මූලික කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජනපතිගේ ධූර කාලය වසර 5 යි, පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා නීතිපති විරෝධතා ඉදිරිපත් කරයි

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල ධුර කාලය වසර 05 ක් බව පැහැදිලි යැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කරන බවයි අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ.

වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු දැනට සැලසුම් කෙරෙමින් පවතින පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබෙනවා.

මේ වනවිට නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

විපක්‍ෂයෙන් එනවා කියු 25 නාවොත් වෙනම අපේක්‍ෂකයෙක් දානවා..- පොහොට්ටුව ජනපතිට නැවත දන්වයි..

සමගි ජන බලවේගයෙන් සහාය ලබාදෙන බව පැවසූ මන්ත්‍රීවරුන් 25 දෙනා ජූලි මස 15 වැනි දිනට පෙර එක් කර ගන්නා ලෙස  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති වික්‍රමසිංහ මහතාට දෙවන වරටත් දැනුම් දී තිබේ.

එසේ විපක්ෂ මන්ත්‍රීවරු 25දෙනා සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවොත් පොදු ජන පෙරමුණෙන් වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවද පසුගිය සතියේ පැති සාකච්ඡාවකදී අවධාරණය කර ඇත.
මේ අතර පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින කිහිප දෙනෙකු සමග එම පෙරමුණ පසුගිය සතියේදී සාකච්ඡා ආරම්භ කර තිබේ.තවද පොහොට්ටුවේ බිම්මට්ටමින් පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසට දැඩි බලපෑම් එල්ල වී ඇත.

නායකත්වය සහ පක්ෂයේ වැඩපිළිවෙළ විවේචනය කළ ෆොන්සේකාට එරෙහිව විනය පියවර ගැනීමට තීරණයක්

සමගි ජන බලවේගයේ නායකත්වය සහ පක්ෂය විවේචනය කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පිළිබඳව ඉදිරියේදී සුදුසු විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ කළමනාකාරීත්වය සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වී ඉදිරි දින කිහිපය තුළ තීරණයක් ගැනීමට නියමිත බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී තමන්ට ප්‍රකාශයක් සිදු කිරීමට සමගි ජන බලවේගය වෙලාවක් වෙන් කර නොදීම හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ආණ්ඩු පක්ෂයෙන් වෙලාවක් ලබා ගනිමින්, පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ නායකත්වය සහ පක්ෂයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පළ කළා.

මේ වසරේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි – මැ.කො.

මේ වසරේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

2019 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අනතුරුව මෙම වසරට වසර 5ක් සම්පූර්ණ වන බවයි වැඩසටහනක් අමතමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව නිශ්චිත වශයෙන්ම අදාළ කාලසීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ජාතික ජන බලවේගයේ පළාත් පාලන අයතන සදහා නාමයෝජනා භාර දුන් නුවරඑළිය මහ නගර සභා මන්ත්‍රීධූර අපේක්ෂකයෙක් එජාපයෙන් කොට්ඨාශ සංවිධායක ධූරයක් බාරගනී.

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
ජාතික ජන බලවේගයේ පළාත් පාලන අයතන සදහා නාමයෝජනා භාර දුන් නුවරඑළිය මහ නගර සභා මන්ත්‍රීධූර අපේක්ෂකයෙක් එජාපයෙන් කොට්ඨාශ සංවිධායක ධූරයක් බාරගනී.
පසුගිය මාස කිහිපයට ප්‍රථම පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා භාර ගැනීමේදී අනුර කුමාර දිසානායක මහ්තා ප්‍රමුක ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරමින් නුවරඑළිය මහ නගර සභාව සඳහා නාම යෝජනා භාර දුන් තුෂාර රාජපක්ෂ මහතා (18) දින එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය කොට්ඨාස සංවිධායකවරයා වශයෙන් පත්වීම් භාරගෙන ඇත .
තනතුරට අදාළ පත්වීම එක්සත් ජාතික පක්ෂ නායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් තුෂාර රාජපක්ෂ මහතාට ලබාදෙන අයුරු ඡායාරූපය දිසවේ.

ජන අරගල සන්ධානය නමින් නව දේශපාලන ව්‍යාපාරයක්

ජන අරගල සන්ධානය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (19) ආරම්භ කර තිබෙනවා.

පසුගිය සමයේ අරගලයට සම්බන්ධ වූ සමාජ ක්‍රියාකාරීන්, ශිෂ්‍ය ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ දේශපාලන පක්ෂ එක්ව මෙම දේශපාලන ව්‍යාපාරය පිහිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

“වෙනසක තාරුණ්‍යය” ජාතික සංවිධායක ළහිරු වීරසේකර, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, නීතිඥ නුවන් බෝපගේ, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ තරිඳු උඩුවරගෙදර ඇතුළු පුද්ගලයන් සහ පක්ෂ කණ්ඩායම් ගණනාවක් මෙයට ඇතුළත්.

ඔක්තෝබර් 5 වනදා ජනාධිපතිවරණය පවත්වනවා – හරීන් ප්‍රනාන්දු

එළැඹෙන ඔක්තෝබර් 5 වනදා ජනාධිපතිවරණය පවත්වන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

එම ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන බවයි අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.