ජනාධිපතිවරයාගේ ධූර කාලය ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කීරීමට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ (ආ) ඡේදයෙහි සඳහන් “සාවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “වසර පහක් ඉක්මවා” යන වචන ආදේශ කරමින් 83 ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සංශෝධනය කිරීම පිණිස 2024-07-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්ති අනුමැතිය ලබා දී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

එකී කෙටුම්පත ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, ජනාධිපතිවරයා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

669620d5c8365

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වන මූලික වැඩකටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වන මූලික වැඩකටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නේ 2024 නව ඡන්ද හිමි නාම ලේඛණය බවයි මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව 17,140,000 මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බවත් ඒ සඳහා මැයි මාසය වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ නව ඡන්ද දායකයින් 76,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවද ඔහු සඳහන් කළා.

ඡන්ද විමසීම සඳහා යොදාගන්නා නිලධාරීන්, මැතිවරණයට යොදා ගන්නා රජයේ වාහන සඳහා සංගණනයක් සිදුකරමින් පවතින බවත් ඡන්දය පැවැත්වීම සඳහා සුදුසු ඡන්ද මධ්‍යස්ථාන සම්බන්ධ කටයුතුද මේ වන විට සිදුකරමින් ඇති බවද ඔහු සඳහන් කළා.

එසේම පොලිස්පතිවරයා, රජයේ මුද්‍රණාලයාධිපති, තැපැල්පතිවරයා සමඟද මේ වන විට සාකච්ඡා කර ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ මුදල් අමාත්‍යංශය සමඟද සාකච්ඡා පවත්වන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

මෙවර මැතිවරණයේදී පළමු වරට නව අත්දැකීමක් ලෙස වියදම් නියාමනය සම්බන්ධයෙන්ද කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ සමඟ සාකච්ඡා කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

සැප්තැම්බර් 17න් පසු සුදුසු දිනයකදී ජනාධිපතිවරණය පවත්වනවා – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

ජූලි මාසය අවසන්වීමට ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

සැප්තැම්බර් 17 න් පසුව එළඹෙන සුදුසු දිනකදී ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බවයි මේ මොහොතේ මැතිවරණ කොමිසමේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කෙරේ

ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙත්සම්කරුට රුපියල් ලක්ෂ 5 ක දඩයක් අධිකරණයට ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමුකර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.

ජනාධිපතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම ආරම්භ වෙයි

ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මේ වන විට ආරම්භවී තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේ සේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලීම සිදු කරනු ලබනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමුකර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කරු වන නීතිඥ අරුණ ලක්සිරි උණවටුන ඉල්ලා සිටින්නේ.

ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සජබෙන් අතුරු පෙත්සමක්

ජනාධිපතිවරණය කල් දැමීමේ පෙත්සම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතුරු පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් මෙම අතුරු පෙත්සම ගොනුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම අද (15) සලකා බැලීමට නියමිතව තිබෙනවා.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීම මත – අධිකරණ ඇමති

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් මග පෙන්වීම මත පදනම්ව බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

ඒ අනුව, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 ක් බවට නඩු තීන්දු කිහිපයක්ද ලබාදී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අධිකරණය විහිලුවකට ගැනීමේ තත්ත්වයකට පත්ව ඇති බවයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය සමගි ජන බලවේගයට එක්වෙයි

නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.

ඔහු 2015 පැවැති මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙසත්, 2020 පැවැති මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙසත් ඉදිරිපත්ව තිබුණා.

නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය ශ්‍රී  ලංකාවේ, එක්සත් රාජධානියේ සහ හේග් හි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ වසර 24කට වැඩි පළපුරුද්දක් ඇති අයෙක් බවයි සඳහන් වෙන්නේ.

ජනාධිපතිවරණයේ කාලරාමුව ගැන හෙට කල් තැබීමේ විවාදයක්

ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව සම්බන්ධයෙන් හෙට (11) පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (10) පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජනාධිපති ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබෙනවා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2), 62(2) සහ 83(ආ) යන ව්‍යවස්ථාවන්හි ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුවේ පවත්නා කාලය සම්බන්ධයෙන් අනනුකූලතාවක් පවතින බව නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එහි දී ඒ පිළිබඳව වන සැකය මඟ හරවා ගැනීමට සහ කවර හෝ අනනුකූලතාවක් ඉවත් කිරීමට “සා අවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “පස් අවුරුද්දක් ඉක්මවා” යන වචන ආදේශ කිරීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

668e532ad8808