මේ සතිය අවසාන වෙන්න කළින් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරනවා – මැතිවරණ කොමිසමේ සභාපති

මේ සතිය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

ඒ අනුව සැප්තැම්බර් 17 වනදායින් පසු සුදුසුම දිනයේ මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ.

හෙට (25) දිනයේ මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙනවා, රනිල් පරදිනවා, සාමකාමීව ගෙදර යනවා – අනුර

ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට කිසිඳු බලපෑමක් එල්ල කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව ඔහුට පවතින අවිනිශ්චිතතාව හේතුවෙන් සමාජය ව්‍යාකූලත්වයට පත් කිරීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් ඇති බවයි ජපානයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශ කිරීමට නියමිතව තිබියදී, සමාජය තුළ ඡන්දය පවත්වයිද නැද්ද සම්බන්ධයෙන් යම් දෙගිඩියාවක් මතුව ඇති බවත්, නමුත් දෙගිඩියාව ඇත්තේ ඡන්දය ගැන නොව දෙගිඩියාව ඇත්තේ රනිල්ට බවයි ජන හමුව අමතමින් ඔහු සඳහන් කළේ.
සහතික වශයෙන්ම ජනාධිපතිවරණය පැමිණෙන බව ද, මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව රනිල් පරාජයට පත්වී සාමකාමීව ගෙදර යන බව ද අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පවසා සිටියා.

පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්විමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

“කෘතිම බුද්ධිය භාවිත කිරීමේ තාක්ෂණය (AI Technology) මගින් ජාතික ආරක්ෂාව, සියලු ආගම් සහ රටේ සංස්කෘතිය කෙරෙහි ඇති කරන බලපෑම” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදයක්ද පැවැත්වීමට නියමිතයි

ජනපතිගේ නියමයෙන් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ නියමය පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

කෙසේ නමුත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඊයේ (18) සඳහන් කළේ, අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් නොකරන ලෙස තමන් අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දුන් බවයි.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

669a34dc7af55pdf_page_1 669a34dc70fbdpdf_page_0

ඡන්ද කල්දාන්නෙත් නෑ, පාර්ලිමේන්තුව විසුරවන්නෙත් නෑ – රවී

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කිසිඳු සූදානමක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක පවසනවා.

ඒ අනුව ජනමත විචාරණයක් හෝ පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීමේ වැඩපිළිවෙළක් ‍නොමැතිවීම විපක්ෂයට ගැටලුවක් වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

ස්වාධීන නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි රවී කරුණානායක හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මැතිවරණය ප්‍රකාශයට පත්කිරීම කල් යනවා නම් අපි තෝරගන්න කෙනාට එයාගේ වැඩ පෙන්නන්න තව අවස්ථාව ලැබෙනවා – ඉන්දික

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරන තුරු බලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.

ඒ අනුව මැතිවරණ කොමිසම විසින් දිනය ප්‍රකාශයට පත්කළ පසු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

යම් හෙයකින් මැතිවරණය ප්‍රකාශයට පත්කිරීම කල් යනවා නම්, සිය පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගැනීමට හා එම අපේක්ෂයාගේ යෝග්‍යතාව පෙන්වීමට ඔවුන්ට තවදුරටත් කාලය ලැබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හා මැතිවරණ කොමිෂන් සභාව අතර අද සාකච්ඡාවක්

මුදල් අමාත්‍යංශ නිලධාරීන් හා මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (17) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම ඇතුළු කරුණු මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

ජනාධිපතිවරයාගේ ධූර කාලය ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කීරීමට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ (ආ) ඡේදයෙහි සඳහන් “සාවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “වසර පහක් ඉක්මවා” යන වචන ආදේශ කරමින් 83 ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සංශෝධනය කිරීම පිණිස 2024-07-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්ති අනුමැතිය ලබා දී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

එකී කෙටුම්පත ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, ජනාධිපතිවරයා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

669620d5c8365

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වන මූලික වැඩකටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වන මූලික වැඩකටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නේ 2024 නව ඡන්ද හිමි නාම ලේඛණය බවයි මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව 17,140,000 මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බවත් ඒ සඳහා මැයි මාසය වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ නව ඡන්ද දායකයින් 76,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවද ඔහු සඳහන් කළා.

ඡන්ද විමසීම සඳහා යොදාගන්නා නිලධාරීන්, මැතිවරණයට යොදා ගන්නා රජයේ වාහන සඳහා සංගණනයක් සිදුකරමින් පවතින බවත් ඡන්දය පැවැත්වීම සඳහා සුදුසු ඡන්ද මධ්‍යස්ථාන සම්බන්ධ කටයුතුද මේ වන විට සිදුකරමින් ඇති බවද ඔහු සඳහන් කළා.

එසේම පොලිස්පතිවරයා, රජයේ මුද්‍රණාලයාධිපති, තැපැල්පතිවරයා සමඟද මේ වන විට සාකච්ඡා කර ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ මුදල් අමාත්‍යංශය සමඟද සාකච්ඡා පවත්වන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

මෙවර මැතිවරණයේදී පළමු වරට නව අත්දැකීමක් ලෙස වියදම් නියාමනය සම්බන්ධයෙන්ද කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ සමඟ සාකච්ඡා කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

සැප්තැම්බර් 17න් පසු සුදුසු දිනයකදී ජනාධිපතිවරණය පවත්වනවා – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

ජූලි මාසය අවසන්වීමට ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

සැප්තැම්බර් 17 න් පසුව එළඹෙන සුදුසු දිනකදී ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බවයි මේ මොහොතේ මැතිවරණ කොමිසමේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.