සිලින්ඩරයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම්කෙ​රේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර තිබෙනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 02 ක් හිමි වූ අතර අනෙක් මන්ත්‍රී ධූරයට රවී කරුණානායක පත්කර තිබුණා.

අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මත වේ

2025 වසරේ මුල් මාස 04 වියදම් සඳහා ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම ඊයේ (06) පාර්ලිමේන්තුවේදි ඡන්ද විමසීමකින් තොරව සම්මත වී තිබෙනවා.

රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා වූ අතුරු සම්මත ගිණුම පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

ඒ අනුව, 05 සහ 06 යන දෙදින පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා ඒ සඳහා වූ පාර්ලිමේන්තු විවාදය පැවැත්වුණා‍.

2025 වසරට අයවැය ලේඛනයක් ඉදිරිපත් නොවීම හේතුවෙන්, 2025 මුල් මාස කිහිපයේ රජයේ වියදම් දැරීම සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කළ අතර එහි මුළු ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 2600 ක් ලෙසයි සඳහන් වන්නේ.

පාර්ලිමේන්තුවට පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් දින 03 ක වැඩමුළුවක්

10 වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ අභිනව මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩමුළුව ලබන 25, 26 සහ 27 දිනයන් හිදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසනවා.

මෙම තෙදින වැඩමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී භූමිකාවේ කාර්ය භාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදිත ක්‍රියාවලිය, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන පිළිබඳව මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ති‍බෙන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම මන්ත්‍රීවරුන්ට ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන ප්‍රායෝගික සැසියක් ද, දුෂණ විරෝධී පනත මගින් ස්ථාපිත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අදාළ නීති හා ක්‍රියාවලින් පිළිබඳව ද, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු අංශයේ කාර්යභාරය පිළිබඳව ද මෙහිදී දැනුවත් කිරීමට නියමිතයි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ කාර්යාංශ ප්‍රධානීන් විසින් ඒ ඒ අංශ මගින් පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව ඔවුන්ගේ දායකත්වය හා කාර්යයන් පිළිබඳව ද මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ආන්දෝලනාත්ම​ක අපරාධයන්හි වගඋත්තරකරුවන් නීතිය හමුවට ගෙනෙ​න බව​ට සහතික කරනවා – ජනපති

ලංකාවේ ආන්දෝලනයට තුඩුදී ඇති අපරාධ විශාල ප්‍රමාණයක් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

කාලයේ වැලිතලාවෙන් ඒවා වැසී යනු ඇති ඇතැයි අපරාධකරුවන් සිතනවා නම් එය නීතිය සම්බන්ධයෙන් ජනතාවගේ තිබෙන විශ්වාසය බිඳවැට්ටවීමක් බවයි අද (21) දසවන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව ජනතාව කෙරෙහි නීතිය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති කිරීමට නම් එම අපරාධ සම්බන්ධයෙන් යළි විමර්ශනය කර වින්දිතයන්ට සාධාරණත්වය සහ අපරාධකරුවන්ට දඬුවම් ලබාදීම සිදුකළ යුතු බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

එවැනි අපරාධයන් සම්බන්ධයෙන් එහි වගඋත්තරකරුවන් හෙළිදරව් කර ඔවුන් නීතිය හමුවට ගෙනගොස් වින්දිතයින්ට සාධාරණය ඉටු කරන බවට සහතික වන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එළැඹෙන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබාදෙනවා – ජනපති

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුකළා.

එහිදී ප්‍රකාශ කළ වැදගත් කරුණු කිහිපයක් පහතින්,

* යහපත් පුරවැසියන් පිරිසක් නිර්මාණය කරගැනීම සඳහා Clean Sri Lanka වැඩසටහන නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ මගින් ආකල්පමය පරිවර්තනයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

* ග්‍රාමීය, නාගරික සහ කඳුකර ජනතාවගේ දුප්පත්භාවය තුරන් කිරීම සඳහා අස්වැසුම එළැඹෙන අයවැයෙන් සාධාරණ ගණනකින් වැඩි කරනවා.

*  පාසල් උපකරණ සහ පොත් මිලදී ගැනීම සඳහා දුෂ්කරතාවෙන් පෙලෙන පවුල්වල දරුවන් සඳහා අලුත් අවුරුද්ද ආරම්භයේදී දීමනාවක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

* විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000 ක දීමනාවක් ඔක්තෝබර් මාසයේ සිට ලබාදීම ඇරඹුවා

* එළැඹෙන අයවැය ලේඛනයේදී රාජ්‍ය සේවකයින්ට සාධාරණ වැටුප් වැඩිවීමක් ලබාදීමට කටයුතු කරනවා.

* ගැබිණි මව්වරුන්ට පෝෂ්‍යදායී ආහාරවේලක් ලබාදීමට කටයුතු කරනවා.

* අවුරුදු පහට අඩු ළදරු මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් සිටින පවුල් සඳහා දීමනාවක් ලබාදීමේ වැඩපිළිවෙලක් අරඹනවා.

* ආබාධිත දරුවන් සිටින පවුල්වලට දරුවන් බලාගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සහ දීමනාවක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

සමූපාකාර ජාලය ශක්තිමත් කර යළි තරගකාරී ලෙස වෙළඳපොළට අවතීර්ණ කරනවා – ජනපති

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුකළා.එහිදී ප්‍රකාශ කළ වැදගත් කරුණු කිහිපයක් පහතින්,

* අද අපේ රටේ ආර්ථිකය හැසිරෙන්නේ වෙළඳපොළ ඒකාධිකාරය මත. භාණ්ඩවල මිල උච්චාවචනය කිරීමේ හැකියාව ඔවුන්ට තිබෙනවා.

* වෙළඳපොළ හැසිරීම යළි ප්‍රතිස්ථාපනය කරන්න බලාපොරොත්තු වෙනවා.

* භාණ්ඩ සහ සේවා අඛණ්ඩවත්, ගුණාත්මකවත්, සාධාරණ මිලකටත් ජනතාවට ලබාදීමේ රජයේ වගකීම වෙනුවෙන් යාන්ත්‍රණ කිහිපයක් ක්‍රියාත්මක කරනවා.

* එහිදී සමහර ක්ෂේත්‍රයන්හි වෙළඳපොලේ නිදහස් තරගකාරීත්වය හරහාත්, ඇතැම් ක්ෂේත්‍රයන් නියාමන ආයතන හරහා වෙළඳපොළ හැසිරවීම මගිනුත් ප්‍රතිඵල ලබාගන්න බලාපොරොත්තු වෙනවා.

* ඇතැම් ක්ෂේත්‍රයන්හි රාජ්‍ය පංගුවක් හරහා වෙළඳපොළ හැසිරවීමට කටයුතු කළ යුතුයි.

* බලශක්ති වෙළඳපොල වැනි ආර්ථිකයට ඉතා සංවේදී වෙළඳපොල හි යම් රාජ්‍ය පංගුවක් තිබිය යුතු බව අප විශ්වාස කරනවා.

* එමෙන්ම මූල්‍ය වෙළඳපොලේද යම් රාජ්‍ය පංගුවක් තිබිය යුතු බව අප විශ්වාස කරනවා. එවැනි අත්‍යාවශ්‍ය ස්ථාන කිහිපයක රාජ්‍යය ආම් එකක් ලෙස ක්‍රියා කළ යුතු බව විශ්වාස කරනවා.

* විසිරී ගිය වෙළඳපොල වෙනුවට සංවිධානාත්මක වෙළඳපොලක් ඇතිකරනවා.

* යළි සමූපාකාර ජාලය ශක්තිමත් කර තරගකාරී ලෙස වෙළඳපොළට අවතීර්ණ කිරීමට බලාපොරොත්තු වෙනවා.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සඳහා එක් නමක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරයි

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සඳහා එක් නමක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාරගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

සමගි ජන බලවේගයට මෙවර මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 5 ක් හිමිව තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

673c9535207b3pdf_page_0

වසන්ත සමරසිංහ වෙළෙඳ අමාත්‍ය ධූරයේ වැඩ භාරගනියි

නව රජයේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා අද (19) එම අමාත්‍යංශයේදී වැඩ භාරගෙන තිබෙනවා.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම්වරයා සහ අමාත්‍යාංශ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.

සුනිල් කුමාර ගමගේ අමාත්‍ය ධුරයේ වැඩ භාරගනියි

නව රජයේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් සුනිල් කුමාර ගමගේ අද (19) ක්‍රීඩා අමාත්‍යාංශයේදී වැඩ භාරගැනීම සිදුකර තිබෙනවා.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සහ ක්‍රීඩා සංගම්වල නිලධාරීන් පිරිසක් එක්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වෛද්‍ය නලින්ද ජයතිස්ස ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරයට

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පත්කර තිබෙනවා.

එළඹෙන 21 වනදා දස වන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පැවැත්වීමට නියමිතයි.