කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය සමත් වී තිබෙනවා.

ඒ අනුව බහුතර බලය ලබා ගනිමින් සමගි ජන බලවේගයේ සභාපති ධුර අපේක්ෂකයා වූ රණසිංහ වනිගසේකරලාගේ ධර්මදාස කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වී තිබෙනවා.

පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධුර 07ක් හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වූ අතර, සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 06ක්, පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 03ක්, පොදුජන එක්සත් පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායම් අංක 01 ට එක් මන්ත්‍රී ධුරයක් බැගින් ද හිමි වී තිබුණා.

පොදු විපක්ෂය එක්වී පළාත් පාලන ආයතන 100 ක බලය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා – තිස්ස අත්තනායක

පොදු විපක්ෂය එක්වී පළාත් පාලන ආයතන 100 ක බලය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

ඒ අනුව මෙම සතියේ සිට පළාත් පාලන ආයතන පිහිටුවීමේ විපක්ෂයේ පොදු එකඟතාව ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මුස්ලිම් පක්ෂ හා වතුකරය නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ මෙම පොදු එකඟතාව ඇති කරගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් තෝරාගන්නා ආකාරය අදාළ සභිකයින්ට මේ වන විටත් දැනුම් දී ඇති බවද, කොටසක් සමඟි ජන බලවේගයෙන් සහ කොටසක් පොදු විපක්ෂයෙන් තෝරා පත්කර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා.

පක්ෂය විසින් ගෙන ඇති තීරණවලට පිටින් කටයුතු කරන සභිකයින්ට එරෙහිව දැඩිව විනය පියවර ගැනීමට ද තීරණය කර ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

කොළඹ විපක්ෂයේ නගරාධිපති හෙට දැනුම් දෙනවා – මුජිබර් රහුමාන්

කොළඹ නගර සභාවේ විපක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් නගරාධිපති ධුරය සඳහා ඉදිරිපත් කරන පුද්ගලයා පිළිබඳව හෙට (03) දිනයේදී දැනුම් දෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

ඒ අනුව අදාළ අපේක්ෂකයා සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ දැනුවත් කර ඇති බවයි අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එම ඉදිරිපත් කරන අපේක්ෂකයාට ස්වාධින කණ්ඩායම් හා දේශපාලන පක්ෂවල සහයෝගය හිමිවන බවට ධනාත්මක ප්‍රතිචාරයක් ඇති බවත්, ඒ අනුව, කොළඹ නගර සභාවේ බලය සමගි ජන බලවේගයට පිහිටුවීමට හැකිවනු ඇති බවයි එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ආණ්ඩුවේ සභාපතිලා නමෝ විත්තියෙන් සොරකම පටන් අරගෙන – ගම්මන්පිල

රජය විසින් පත් කරන ලද ආයතන සභාපතිවරුන් සොරකම් කිරීමට පටන්ගෙන ඇති බවට සාක්ෂි ලැබී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.

ඒ අනුව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා නිල වාහනය ලබා ගන්නවා වෙනුවට, තම පෞද්ගලික වාහනය භාවිතා කරමින් ප්‍රවාහන වියදම ලබාගෙන ඇති බවයි අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එය ගැටලුවක් නොවන බවද, නමුත් කාර්යාලයට පැමිණි පසු සංචිතයේ ඇති වාහන භාවිතා කරමින් ගමන් බිමන් යන බවද, ඔහුගේ පෞද්ගලික වාහනයට රියදුරෙක් ලබාදීම හා ප්‍රවාහන දීමනාව ලබාගන්නා අතරතුර සංචිතයේ වාහන භාවිතා කිරීම නීති විරෝධී බවද ඔහු ප්‍රකාශ කළා.

එම වාහනවලට අමතරව තවත් වාහනයක් සභාපතිවරයා විසින් සංචිතයෙන් ලබාගෙන ඇති බවත්, ඔහු විසින් වාහන තුනක් භාවිතා කරන බවයි උදය ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කළේ.

කිසිම දෙයක් හොරකම් නොකරපු මහින්දගෙන් අනුර කුමාර මැතිතුමා සමාව ගන්න – සාගර

රත්‍රං වැසිකිලි, රත්‍රං අශ්වයින් සිටි බවට සඳහන් කළ චෝදනා බොරුවක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

එම බොරුවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින්ට කිසිඳු සම්බන්ධයක් නොමැති බවත්, එය දිනෙන් දින ඔප්පු වෙමින් පවතින බවයි අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ ලේකම්වරයා සඳහන් කළේ.

අනුර කුමාර ජනාධිපතිවරයා ළඟ තිබෙන බවට සඳහන් කළ ෆයිල් මිටිය කවුරුන් හෝ පැහැර ගත්තාදැයි ඔහුගෙන් විමසා සිටින බවද, ඔහු ජනාධිපති ධුරයට පත්වී මාස හතකට වැඩි කාලයක් ඉක්මවා ගොස් ඇතත්, එම සිදුකරන ලද කිසිඳු චෝදනාවක් වෙනුවෙන් මෙතෙක් පරික්ෂණයක් හෝ ආරම්භ කර නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

මහින්ද රාජපක්ෂට චීනයෙන් මුදල් ලබාදුන් ගිණුම් අංක පවා අනුර කුමාර ජනාධිපතිවරයා සතුව ඇති බවට ප්‍රකාශ කළ බවත්, එම ගිණුම් අංක අදාළ බලධාරීන්ට ලබාදී නීතිමය වශයෙන් කටයුතු කරන ලෙසත්, එසේ නොවන්නේ නම් මේ රට යුද්ධයෙන් බේරාගත්, කිසිදු දෙයක් සොරකම් නොකරන ලද හිටපු ජනාධිපති මහින්ද රා‍ජපක්ෂගෙන් සමාව ගන්නා ලෙසයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ශ්‍රීලනිප කාර්යාලය සම්බන්ධ නඩුව විභාග කිරීම වළක්වාලමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල විසින් ශ්‍රීලනිප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ල විභාග කිරීම වළක්වමින් පැනවූ අතුරු තහනම් නියෝගය ජූලි 23 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (27) නියෝග කළා.

නිමල් සිරිපාල ද සිල්වා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණා‍.

මෙහිදී තිලංග සුමතිපාලගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට තම සේවාදායකයා තීරණය කර ඇති බවයි.

ඒ අනුව, නඩුව සමථයකට පත්කර ගැනීම සඳහා දිනයක් ඉල්ලා සිටි අතර, පෙත්සම නැවත ජූලි 23 වන දින කැඳවීමට අභියාචනාධිකරණය විසින් නියම කරනු ලැබුවා.

සමගි ජන බලවේගයේ තවත් ආසන සංවිධායකවරයෙක් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ තවත් ආසන සංවිධායකවරයෙක් ඉවත්වීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ හොරොව්පොතාන ආසන සංවිධායක අනුර බුද්ධික එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව මේ වන විට ආසන සංවිධායකවරුන් සිව්දෙනෙක් ඉල්ලා අස්වී ඇති අතර මීට පෙර චමින්ද විජේසිරි, නීතිඥ චම්පික විජේරත්න, රංජිත් අලුවිහාරේ තමන් දැරූ ආසන සංවිධායක තනතුරෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබෙනවා.

සමහර විට රණවිරු සැමරුමේදී ජනපති කළ කථාවේදී එතුමාට වරදින්න ඇති – චාමර සම්පත්

ආණ්ඩුව ගෙන යාමට උනන්දුවෙන් කටයුතු කරන ආකාරයෙන්, නායකයාට වැරදි තැන් ද පෙන්වාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා.

ඒ අනුව රණවිරු සැමරුමේදී ජනාධිපතිවරයා සිදුකළ කථාවේදී ඇතැම්විට ඔහුට වරදින්නට ඇති බවත්, නායකයින් ඔලුවේ ප්‍රශ්න තබාගෙන එන විට වැරදීමට හැකි බවත්, අනෙකුත් මන්ත්‍රීවරුන්ද එම කතාවම ප්‍රකාශ නොකරන ලෙස ඉල්ලා සිටින බවයි අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඇතැම් මන්ත්‍රීවරුන් යුද්ධය අප විසින් ඉල්ලාගත් බවට හැ‍ඟවෙන ආකාරයේ ප්‍රකාශ සිදු කරන බවද, යුද්ධය ඉල්ලා ගත්තේ LTTE සංවිධානය විසින් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

එදා සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කාබනික පොහොර යෝජනාව ගෙනා ආ අවස්ථාවේ වටේ සිටි සියලුම ඇමතිවරුන් නායකයාට බියෙන් කට වසාගෙන එය අනුමත කරන විට, එයට විරුද්ධ වූ‍යේ තමන් පමණක් බවත්, අවසානයේ කඩිමුඩියේ එය ක්‍රියාත්මක කිරීමට යාමෙන් අරගලයක් පැමිණ, එක් මන්ත්‍රීවරයෙක්ට ජීවිතය ද අහිමිවූ බව ද ඔහු සඳහන් කළා.

නායකයා වැරදි දෙයක් කරනවා නම් එය පෙන්වා දී හරි මාර්ගයට ගැනීමට කටයුතු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වැඩිදුරටත් ප්‍රකාශ කළා.

පික් පොකට් ගහන එකා තමයි දුවන්නේ අන්න හොරා කියලා, JVP එකත් ඒ වගේ – නාමල්

ආයෝජකයෙක් ලංකාවට ගෙන ඒම පසෙකින් තබා, ලංකාවේ ඉන්නා ආ‍යෝජකයෙකු හෝ රැක ගැනීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

කර්මාන්ත ශාලා මුහුණදෙන ගැටලු ආණ්ඩුව හඳුනාගෙන නොමැති බවයි අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අදාළ කර්මාන්ත ශාලාවෙන් කොටසක් පමණක් වැසී ඇති ලෙසටත්, ඇඟලුම් කර්මාන්ත ශාලා පිළිබඳ ගැටලුවක් නැති බවටත්, අලුත් ඒවා ගෙන ආ හැකි ලෙසටත් සිදු කරන ප්‍රකාශ පක්ෂ සම්මේලනයට හොඳ බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ.

ආණ්ඩුව දැන් හෝ තමන්ගේ මහන්තත්තකම පැත්තක තබා, එම කර්මාන්ත ශාලාවේ සේවකයින්ට ඇහුම්කන් දිය යුතු බවත්, සේවකයා හා හාම්පුතා අතර ගැටලුවක් ඇත්නම් එය විසඳීමට ආණ්ඩුව මැදිහත්විය යුතු බවත් ඔහු පවසනවා.

ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටින විට සිදු කළේ ගින්න ඇවිලවීම බවද, නමුත් දැන් ඔවුන් ආණ්ඩුවේ නිසා ගින්න නිවීමට ඔවුන්ට සිදුවන බවද, ආණ්ඩුව මෙම ගැටලුවලට පිළිතුරු ලබාදිය යුතු බවද, මිනිසුන්ට සහ ආයෝජකයින්ට ඇහුම්කම් දිය යුතු බවද ඔහු සඳහන් කළා.

පික් පොකට් ගසන පුද්ගලයා ‘අන්න හොරා’ ලෙස ප්‍රකාශ කරමින් දිවයන බවත්, වත්මන් ආණ්ඩුවද ඒ ආකාරයේ එකක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් පත්කිරීම සම්බන්ධයෙන් එජාපයෙන් තීරණයක්

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images