මනි ඕඩර් කරපු මදි වුන රුපියල

පසුගියදා ඉන්ධන මිල අධික ලෙස ඉහළ දැමූ බලශක්ති ඇමති කංචන විජේසේකර ඊට හේතු දක්වමින් පවසා සිටියේ දිගටම පාඩු ලබන නිසා මෙසේ ඉහළ දැමූ බවත් වෙනස් කර ඇති නව මිල පවා රුපියලක් රජයට පාඩු ලබමින් මිල නියම කළ බවයි.

මෙම ප්‍රකාශය පාරිභෝගිකයින්ගේ කෝපයට මෙන්ම උපහාසයටද හේතුවූ අතර පසුගිය දිනවල ඉන්ධන පිරවුම්හල් රැසක ‘කංචනට රුපියලක්‘ රැස් කිරීමේ කැට තබා තිබුණි.

එහි දෙවන පියවර වශයෙන් අනුරාධපුර නගරයේ පිරවුම්හල් වලින් එක්රැස්වූ
රුපියලේ කාසි එකතුව කංචන ඇමතිවරයා වෙත යොමු කිරීමට පිරිසක් කටයුතු කර තිබේ. ඔවුන් රජයේ ඛණිජ තෙල් අමාත්‍යංශ කාර්යාලයට ගොස් එය යොමු කළ හැකි ආකාරය විමසා සිටීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ලිපිනයට කංචන විජේසේකර නමට කැටයට එක්රැස්වූ මුදල් ප්‍රමාණය මනි ඕඩරයක් හරහා යොමු කරන්නටද කටයුතු කර තිබුණි.

ඔවුන් දැක්වූ සටහනේ දැක්වෙන්නේ ‘කංචන මෙන්න රුපියල අපි ණය නෑ‘ යනුවෙනි.

ජොන්ස්ටන් ඇතුළට ගන්න – නීතිපති

පසුගිය මැයි 09 වනදා සාමකාමී අරගලයට පිරිසක් පහරදීම සඳහා කුපිතවන ලෙස කතා පැවැත්වූ හා ඒ සඳහා සැලසුම් කළ ප්‍රධාන සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති
දෙපාර්තමේන්තුව මගින් පොලිසියට දන්වා තිබේ.

මින් ඉහත පොලිස් අපරාධ කොට්ඨාසය මන්ත්‍රීවරයාගෙන් පැය 5 ක් ප්‍රකාශයක්
ලබාගත් නමුත් ඔහු අත්අඩංගුවට ගත්තේ නැත. ඔහු පිටවන දොරටුව අසළ
විරෝධතාකරුවන් ඔහුව අත්අඩංගුවට ගන්නැයි බලකරමින් සාටන් පාඨ කියවමින් සිටි බැවින් රහස් පොලිසියේ පස්සා දොරින් මන්ත්‍රීවරයාට පිටව යාමට
අවස්ථාවක්ද ලබාදී තිබුණි.

ජනපති හා අගමැතිට ඉතා සමීපව කටයුතු කරන්නෙකු ලෙස ප්‍රකට ජොන්ස්ටන්
ප්‍රනාන්දු සිය බලයේ ආනුභාවයෙන් නිරුපද්‍රිතව සිටින බවට මේ වනවිට ජනතාව
තුළ මතයක් නිර්මාණයවී ඇති අතරම නීතිය සැමට එකසමාන නැති බවටද මේ නිසා සාකච්ඡාවට ලක්ව තිබේ.

ජනාධිපතිවරයා හරීන්ට දී ඇති උපදෙස

අමාත්‍ය ධූරයක් බාර ගත්තේ නම් කැබ්නට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කරමින් කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා විසින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට උපදෙස් දෙනු ලැබ ඇති බව වාර්තා වේ.

ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම දැනුම් දීම ජනාධිපතිවරයා විසින්
සිදු කර ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ තැන් තැන්වල ගොස් විවිධ කතා නොකියා
කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කරගනිමින් අදහස් ප්‍රකාශ කරන ලෙසය.

ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ප්‍රසන්න රණතුංග
අමාත්‍යවරයාද පෙන්වා දී ඇත්‌තේ ඉකුත් ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත්
වීම සදහා ඇමැතිවරුන් විසින් තැන්තැන්වල කළ ප්‍රකාශ මහත් සේ බලපෑ බවකි.

එම නිසා ඇමැතිවරුන් අදහස් ප්‍රකාශ කිරීමේදී වගකීම් සහගත විය යුතු බව
ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාද මෙහිදී දැඩිව පෙන්වා දී ඇති බව දැනගන්නට
ඇත.

රනිල්, ඉල්ලා අස්වීමේ සූදානමක්

ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්ව ප්‍රතික්ෂේප වූ පුද්ගලයකු දිගින් දිගටම
රාජ්‍ය පාලනයට ඇඟිලි ගසමින් අනවශ්‍ය බලපෑම් එල්ල කිරීම හේතුවෙන් අගමැති
රනිල් වික්‍රමසිංහ මේ සතියේ ඉල්ලා අස්වීමට ඉඩ ඇතැයි දේශපාලන අභ්‍යන්තර
ආරංචිමාර්ග සඳහන් කරයි.

පොදු ජන පෙරමුණේ ප්‍රබලයකු වන මේ තැනැත්තා තමන්ගේ බලය සහ මන්ත්‍රීධූරය අහෝසි වීමේ තර්ජනය සහ මෙතෙක් කරන ලද සියලු අක්‍රමිකතා අනාවරණය වීමේ ගැටලුව හේතුවෙන් තවදුරටත් ආණ්ඩුව අපහසුතාවට පත්කරමින් සහ ර‍ට අරාජික කරමින් සිටින බව දේශපාලන විචාරකයෝ කියති.

රට අරාජික තත්වයට පත්වෙද්දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැතිධූරය බාර ගැනිමට කොන්දේසි ඉදිරිපත් කළ අතර ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහට අගමැතිධූරය පිරිනමන ලදී. රනිිල් වික්‍රමසිංහ ද අගමැති ධූරය බාරගන්නා ලද්දේ කොන්දේසි කිහිපයකට ජනාධිපතිවරයා එකඟකර ගැනීමෙන් අනතුරුව බව ප්‍රකාශ විය.

මේ අතර 20 වැනි සංශෝධනය බල රහිත කරන 21 වැනි සංශෝධනය ප්‍රමුඛ කාරණයක් විය.

19 වැනි ස‍ංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආ විජේදාස රාජපක්ෂ අධිකරණ
අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර මේ වනවිට 21 වැනි සංශෝධනය ද කැබිනට්
මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

රාජ්‍ය ආයතන විගණනය කිරීම, පොලිස් කොමිසම, ප්‍රසම්පාදන කොමිසම නැවත ස්ථාපිත කිරීම, ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් ඉවත්කිරිම ඇතුළලු
කරුණු රැසක් අඩංගු බව පැවසේ.

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය ලබා ගැනීමට පෙර දින ගෝඨාභය රාජපක්ෂ
ජනාධිපතිවරයා සමඟ කළ පැය තුනක සාකච්ඡාවේ දී  මෙම සංශෝධනය ගෙන ඒමට ජනාධිපතිවරයා එකගවී ඇතැයි වාර්තා වේ.

අනතුරුව රනිල් අගමැති වී රැස්වූ පළමු පාර්ලිමේන්තු රැස්වීමේ සිට
ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ තැනැත්තා තම පක්ෂයේ සහචරයන් සමග ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිසිමට ඉඩ නොදෙමින් නියෝජ්‍ය කතානායක තේරීමේ අවස්ථාවේ පවා ගැටලුවක් බවට පත්කළේ යැයි දේශපාලනඥයෝම කියති. කාන්තාවක් නියෝජ්‍ය කතානයක කිරිමට සියලු දෙනාගේ අනුමැතිය හිමිව තිබිය දී එය නොතකා ඔහු අජිත් රාජපක්ෂගේ නම යෝජනා කර ඔහුට නියෝජ්‍ය කතානායක වීමට අවස්ථාව සළසා දුන් බව දැන් ප්‍රසිද්ධ රහසක් වී තිබේ. එමගින් ඔහු උත්සාහ ගෙන ඇත්තේ රනිල් අගමැති
වුව ද තම පදයට නැටිය යුතුය යන අනතුරු ඇඟවීම සිදුකිරීමයි.

මේ වන විටත් 21 වන සංශෝධනයේ වැදගත්ම වගන්ති ඉවත් කිරීමට දැඩි බලපෑමක් එම පුද්ගලයා විසින් මුල් පුරවැසියාට එල්ල කරමින් සිටින අතර ඉහල පුටුව ඔහුට තව දුරටත් අවනත වෙමින් 21 ගෙන ඒමෙන් අපේක්ෂිත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවලට ඉඩ නොදෙන්නේ නම් අගමැති රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන් අස්වීමට ද නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

උපුටා ගැනීම : rata

නව සන්ධානයක් ගොඩනගනවා – විමල්

මහින්ද රාජපක්ෂගේ සමුගැනීමත් සමග කඩාවැටීමට ලක්ව ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනමට අයිතිවාසිකම් කීමට විමල් වීරවංශ, උදය ගම්මංපිල හා වාසුදේව නානායක්කාර ප්‍රමුඛ පක්ෂ දහයේ කණ්ඩායම් ඉදිරිපත්ව තිබේ.

ආණ්ඩුවෙන් වෙන්වී ස්වාධීන වූ පක්ෂ සියල්ල එක්වී නව සන්ධානයක් ගොඩ නැගීමට තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඒ අනුව පවසා තිබේ.
ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේය.
ඉදිරියේදී මහමැතිවරණයකට මුහුණදීමේදී ශ්‍රී ලංකා පොදු ජනපේරමුණට අයත්ව
සිටි අතිමහත් බහුතර ඡන්ද ප්‍රමාණයක් මේ වනවිට අපේක්ෂා භංගත්වයට පැමිණ ඇති බවත් පවතින විපක්ෂය එයට විකල්ප නොවන බවත් පෙන්වාදී ඇති විමල් තමා ඇතුළු පිරිස තවමත් ඒ අයගෙ බලාපොරොත්තු ඉටු කිරීමේ වගකීම කරට ගන්නා බව සඳහන් කර තිබේ.

මහින්ද සමු නොගත් නිසා අපි හැමෝම අමාරුවේ – චමල් රාජපක්ෂ

රාජපක්ෂ පවුලේ දේශපාලනය පිළිබඳව වර්තමාන පාර්ලමේන්තුවේ සිටින
ජ්‍යෙෂ්ඨතමයා වන චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී සංවේදී කථාවක් කළේය.

“රාජපක්ෂලාගේ දේශපාලනය ගැන කියන්න ඕන නෑ. අවුරුදු 90කට වැඩියි. 1932 විතර පටන් ගත්තේ. එහෙම නැත්නම් මෙච්චර කලක් දේශපාලනය කරන්න බෑ. අපි දේශපාලනය පටන් අරගෙන තියෙන්නේ තියෙන දේපල උගස් කරලා ඒවා මැතිවරණයට යොදවලා.

අපිට තවමත් බේර ගන්න බැරිවුණ ඒවා තියෙනවා. උගස්කරපු ඒවා බේරා ගන්න
බැරිවෙලා තියෙනවා. ඒ අවංකව දේශපාලනය කරපු නිසා තමයි ඒ දිස්ත්‍රික්කවල එදා ඉදන් අද වෙනකම් දේශපාලනය කරන්න හැකි වෙලා තියෙන්නේ.

ගරු අගමැතිතුමා (මහින්ද රාජපක්ෂ). එතුමාගේ ජනාධිපතිධුර දෙක ඉවරවුණාට පස්සේ සමුගත්තානම් හොඳයි. ඒ නැති නිසා අද සියලුම දුක් වේදනාවටල ලක්වෙනවා.
විශාල පරිත්‍යාගයක් කරලා තියෙනාවා අවුරුදු 50ක දේශපාලන ඉතිහාසයේ. අද ඒ සියල්ලම නැතිවෙලා තියෙනවා.

අපි දේශපාලනය කරනවානම් අත්හැරිමත් කරන්න ඕන. අපි මේ තනතුරුවට ලෝභ වුණොත් මෙවැනි දේවල්වලට මුහණ දෙන්න වෙනවා. නියම වෙලාවේදී දැනගත්තෝත් අපිට මේ දේ කරන්න පුළුවන් වෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා හරිම වාසනාවන්තයි. 2015 දී බහුතරයක් නැතිව අගමැති වුණා. අද එක්කෙනෙක්වත් නැතිව අගමැති වෙලා ඉන්නවා. ඒකත් වාසනාව. ”

ජ.වි.පේ පොලිස්පති හමුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදි කළ
ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීම උදෙසා ජනතා විමුක්ති පෙරමුණ
පොලිස්පතිවරයා හමුවීමට තීරණය කරයි

හරීන් ප්‍රනාන්දුත් පනියිද ?

ස්වර්ණවාහිනී ‘ඉර‘ වැඩසටහනට එක්වෙමින් හරින් කියන්නේ ප්ලෑන් ඒ
ක්‍රියාත්මක නොවූ නිසා ප්ලෑන් බී ලෙස රනිල්ගේ ආන්ඩුවට සජිත් එක්වීම
අවශ්‍ය බවයි. එසේ ගොස් අවශ්‍ය රැඩිකල් තීරණ ගතයුතු බවත් ජනපති අභිබවා
කටයුතු කිරීමට තවම අවස්ථාව ඇති බවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නව රජය තුළ සමගි ජන බලවේගයට
අමාත්‍ය ධුර හිමිවිය යුතු බවට තමන් විශ්වාස කරන බව කියූ හරින් ජාතික ජන
බලවේගයද මෙහිදී ඇමති ධූර ලබාගෙන ගැටලු විසඳිය යුතු බව කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් තම පක්‍ෂය  ප්ලෑන් බී තීරණයක් ගන්නා තෙක් තවත් දිනක් බලා සිටින බවද ඔහු කියා සිටියේය.

“සජිත් ප්‍රේමදාස මහතා තමයි මේ රටේ අනාගත නායකයා, ඒ ගැන කිසිම සැකයක් නැහැ, නමුත් මම හිතන්නේ මේ මොහොතේ අපි දේශපාලනය ගැන නොසිතා නව රජයට සහය දිය යුතුයි.” හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

තව මාස හයකින් අපිට රටක් නැහැ, මේ අර්බුදය විසඳන්න සජිත් ප්‍රේමදාස සහ
අනුර කුමාර දිසානායක මේ අලුත් ආණ්ඩුවට එකතු වෙනවා නම් මම කැමතියි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

SLFP සහ SLPP නායකත්වය MRට

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ එක් පක්‍ෂයක් වී එහි නායකත්වය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදිය යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.
ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාටද සුදුසු තනතුරක් ඉදිරියේදී ලබා දෙනු ඇති බවයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ වර්තමාන කාර්ය භාරය පිළිබදව ද අදහස් දක්වමින් “හිටපු ජනාධිපතිනිය දැන් අවලංගු කාසියක්…දේශපාලනයේ. එතුමිය සිය සතුරන්ගේ ඔත්තුකාරියක්. ඒ නිසා එතුමියගේ වචනයට දැන් අපි ගාව ඉඩක් නෑ. එතුමියගෙන් ලබා ගන්න පුළුවන් කෙහෙල්මල් සහයක් අපිට නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන අපිම බලා ගන්නම්.” යනුවෙන් ඔහු පැවසීය.
බොහෝ ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටළුවකටද ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් විසදුම් ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය
අශන්ති වරුනසුරිය

දිවුරුම් දුන් ඇමතිවරුන්ට නියෝගයක්

අද (12) ඇමති ධූරයන්හි දිවුරුම් දුන් සියලුම අමාත්‍යවරු වෙත ජනාධිපතිවරයා නියෝගයක් ලබා දී ඇත්තේ මේ වන විටත් පත්ව සිටින ආයතන සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුළු පත්වීම්වල වෙනසක් වන්නේ නම් ඊට ජනාධිපතිවරයාගෙන් පූර්ව අවසරය ලබා ගත යුතු බව සදහන් කරමිනි.
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාගේ  අත්සනින් නිකුත් කර තිබෙන එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ එකී පත්කිරීම් සිදුකර ඇත්තේ ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ කමිටුවකින් බවයි.