අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව​ට සනත් නිශාන්තට එරෙහිව චෝදනා ගොනුකෙරේ

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර ඇති බව නීතිපතිවරයා අද (17) අභියාචනාධිකරණයට දන්වා තිබෙනවා.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ නීතිඥවරුන් දෙදෙනෙකු වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන පිරිස ඉදිරිපත් කළ පැමිණිලි අභියාචනාධිකරණ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

එම අවස්ථාවේදී වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ද අධිකරණයේ පෙනී සිටි අතර පැමිණිල්ල නැවත පෙබරවාරි මස 23 වනදා කැඳවීමට ද නියම කර තිබෙනවා.

ආණ්ඩුව ප්‍රතිපත්තියක් ලෙස මුදල් අච්චු ගැසීම නවතා තිබෙනවා – බන්දුල ගුණවර්ධන

ප්‍රතිපත්තියක් ලෙස මේ වනවිට මුදල් අච්චු ගැසීම නවතා ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ හේතුවෙන් එදිනෙදා වියදම් දරාගැනීමට නොහැකිව විශාල අර්බුදයකට මුහුණදෙමින් ඇති බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

දෙසැම්බර් මාසයේ වියදම් දැරූ ආකාරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් විමසීමක් කළ බවත් ඒ අනුව එම මාසයේ බදු හා බදු නොවන ආකාරවලින් භාණ්ඩාගාරයට ලැබී ඇත්තේ රුපියල් බිලියන 141 ක් බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව පරිපාලන වියදම් බිලියන 154 ක් වැයවී ඇති බවත් රුපියල් බිලියන 141 කින් බිලියන 154 ක් දරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් මේ වන විට මෙම තත්ත්වය කළමනාකරණය කිරීමට නොහැකි මට්ටමට පත්ව ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

 

දිස්ත්‍රික්ක කිහිපයකට අත ලකුණින් තරග කිරීමට ශ්‍රීලනිපය තීරණය කරයි

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා අත ලකුණින් තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව උතුරු, නැගෙනහිර පළාත් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අත ලකුණින් තරග කිරීමටත්, කොළඹ, පුත්තලම, කුරුණෑගල, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා හෙලිකොප්ටරය ලකුණින් තරග කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

සෙසු දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන සඳහා අත ලකුණ සහ හෙලිකොප්ටරය යන ලකුණු දෙකම භාවිත කරමින් මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් විරවංශ සඳහන් කළේ.

අපේ පක්ෂයට තිබුණේ මතුපිටින් නිර්මාණය කරපු විරෝධතාවක් – සාගර කාරියවසම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව සමාජයේ ඇතිවූ විරෝධය මතුපිටින් නිර්මාණය කරන ලද විරෝධයක් පමණක් බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

ඒ අනුව මේ වන විට ජනතාව එම සත්‍ය තේරුම් ගනිමින් සිටින බවයි අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

මෙවර මැතිවරණයේදී සමහර පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ද එම ලැයිස්තුවට ඇතුළත් කරන බවත් තවත් පළාත් පාලන ආයතන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරන අතර එම ලැයිස්තුව සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින්ද ඇතුළත් කරන බවද සාගර කාරියවසම් සඳහන් කළා.

මහින්ද රාජපක්ෂ හා චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් අතර හමුවක්

මෙරටට පැමිණි චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චින් ෂූ (Chen Zhou) ඇතුළු පිරිසක් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගී වී ඇති බවයි සඳහන් වන්නේ.

දුම්රිය සේවය සඳහා සේවකයින් 3,000 ක් බඳවා ගැනීමට කටයුතු කරනවා – බන්දුල ගුණවර්ධන

දුම්රිය සේවය සඳහා නව සේවකයින් 3,000ක් බඳවා ගැනීම සිදුකරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

දීර්ඝ කාලයක් සේවකයන් බඳවාගෙන නොමැති බවත් සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවීමට ක්‍රමයක් නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව දැනට රාජ්‍ය සේවයට බඳවාගෙන සිටින කාර්ය සාධක බළකායේ සිටින සේවකයන්ගෙන් 3,000ක් දුම්රියට බඳවාගැනීම සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

පාඨලී සහ වෙල්ගම සන්ධානගත වෙයි

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී තවත් පක්ෂ දෙකක් සන්ධානගතව ඉදිරිපත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම එකඟතාවයකට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලී චම්පික රණවක සඳහන් කළේ.

හෙළිකොප්ටරයේ විධායක සභා රැස්වීමක් අද

නිදහස් ජනතා සන්ධානයේ විශේෂ විධායක සභා රැස්වීමක් අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම සන්ධානයේ විධායක සභා රැස්වීම අද පස්වරු 6.00 ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වෙන අතර එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීම සම්බන්ධයෙන් පක්ෂ අතර අවසන් එකඟතාවක් ඇති කර ගැනීමට නියමිත බව වාර්තා වනවා.

උත්තර ලංකා සභාගය නියෝජනය කරන පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 12ක් එක්ව පසුගිය දා හෙළිකොප්ටරය ලකුණින් නිදහස් ජනතා සන්ධානය පිහිටුවීමට කටයුතු කළා.

ෆයිසර් මුස්තාපා ශ්‍රීලනිපයෙන් ඉවත් වෙයි

හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ලිපිය පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.

මේ මැතිවරණයේ ලංකාවේ සිතියම පාට කරන පක්ෂය තමයි නියත වශයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය දිනන්නේ – ආචාර්ය නන්දසිරි

පළාත් පාලන මැතිවරණය යනු නොවැදගත් කුඩා මැතිවරණයක් ලෙස ඇතැමුන් මතයක් ගොඩ නැගීමට උත්සාහ කළද, මෙවර මෙම මැතිවරණය ලංකා ඉතිහාසයේ තීරණාත්මකම මැතිවරණය බවට පත්වන බව රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි පවසනවා.

මෙම මැතිවරණයේදී ලංකාවේ සිතියම පාට කරන්නට සමත් වන පක්ෂය, නියත වශයෙන්ම මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකදී තුනෙන් දෙකක බහුතරයක් ලබාගෙන එය ජයග්‍රහණය කරන්නට සමත් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම නිසා මෙම පාළාත් පාලන මැතිවරණය හෑල්ලුවට ලක් කළ යුතු මැතිවරණයක් නොවන බව, රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු අවධාරණය කළා.