මැතිවරණ දිනය අප්‍රේල් 25 ලෙස නියම කරමින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත් කෙරේ

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පැවැත්වීමට දින නියම කරමින් තේරීම්භාර නිලධාරීන් විසින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත්කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අංක 2322/28 සිට 2322/52 දක්වා වූ අති විශේෂ ගැසට් පත්‍ර මගින් මැතිවරණය පැවැත්වීමට දින නියම කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසන්නේ.

එසේම තැපැල් ඡන්ද පත්‍රිකා දින 5 ක් තුළ හා අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20-25 ක් අතර මුද්‍රණය කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය හැකි බව‌ට රජයේ මුද්‍රණලයාධිපතිනිය දන්වා සිටි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අදාළ නිවේදනය පහතින්.

0f45431cfbd2464318ab33dd81b8b5ad

නාමල් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ධූරයට

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව සඳහා නව සභාපතිවරයෙක් තේරී පත්වී තිබෙනවා.

ඒ අනුව කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තුවේ කාරක සභාවේ සභාපති ධූරය චමල් රාජපක්ෂට

ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ පත්ව තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි විසින් චමල් රාජපක්ෂගේ නම සභාපතිවරයා ලෙස යෝජනා කර ඇති අතර රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ විසින් එය ස්ථිර කර ඇති බවයි වාර්තා වන්නේ.

තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත කාලසීමාව තුළ බෙදාහැරීමට සූදානම් – තැපැල්පති

තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත වේලාවට ලැබුණහොත් අදාළ නියමිත කාලසීමාව තුළ බෙදාහැරීමට හැකි බව නව තැපැල්පති ලෙස පත්වූ එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී. සත්කුමාර පවසනවා.

ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සූදානමින් පසුවන බවයි අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සර්ව ජන ඡන්ද බලය ගැන දෙදින විවාදය අද ආරම්භ වෙයි

අද (09) දිනයේත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද සහ හෙට දිනයේ “සර්ව ජන ඡන්ද බලය” පිළිබඳ සභාව කල්තැබීමේ දෙදින විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විපක්ෂය විසින් අදාළ කල්තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

මහින්ද රාජපක්ෂගේ විදේශ ගමන් තහනම ඉවතට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විදේශ ගමන් තහනම ලබන මස 20 වනදා සිට 30 වනදා දක්වා ඉවත් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ගෝඨාගෝගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණා.

තැපැල් ඡන්දය පැවැත්වෙන නව දිනයන් ප්‍රකාශයට පත් කරයි

2023 වසරේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නව දිනයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මාර්තු මස 28 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා සඳහන් කළේ.

ඡන්ද විමසීම අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතයි.

පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් 25 පැවැත්වීම වඩා සුදුසුයි – මැතිවරණ කොමිසම

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් 25 වනදා පැවැත්වීමට වඩාත් සුදුසු බව මැතිවරණ කොමිසම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ, මීට පෙර සැලසුම් කළ පරිදි 2023 මාර්තු 9 වන දින ඡන්ද විමසීම පැවැත්විමට නොහැකි බවයි.

අද (07) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ

3cfc813643ba154c5859868b26d243b5

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (07) පෙරවරු 09.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා.

අද සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අද දිනයේ මෝටර් වාහන පනත යටතේ ගැසට් පත්‍ර කිහිපයක පළ කර ඇති නියෝග කිහිපයක් විවාදයට ගැනීමට නියමිතයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීම සම්බන්ධයෙන් වන කල්තැබීමේ විවාදය 09 සහ 10 යන දින දෙකේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ දිනය ගැන සාකච්ඡාවකට විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද මැතිවරණ කොමිසම හමුවෙයි

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (07) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව හමුවීමට නියමිතව තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර ඔවුන් සඳහන් කරන්නේ, පළාත් පාලන මැතිවරණය මාර්තු 19 වනදා පැවැත්විය යුතු බවයි.

මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කරමින් මේ බව දැනුම්දී ඇති අතර ඒ අනුව අද (07) පෙරවරුවේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.